වැව හා සම්බන්ධව සිදුකරන පූජා චාරිත්‍ර




දිවුලපැලැස්සේ රතනවංශ හිමි
ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා)
ශ්‍රී  ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර

කෘෂිකාර්මික ජන ජීවිතයේ වැව හා ගැමියා අතර ඇත්තේ අත්‍යන්තර බැඳීමකි. සෑම වැවකටම ජලය ලැබෙන වර්ෂාව ක්‍රමිකව සිදු නොවී ය. කෙත් වතු සාරවත් කර ගැනීම හා ස්වභාව ධර්මයෙන් සිදුවන විපත් වලින් ආරක්ෂා වීමට වැව මූලික කර ගනිමින් දෙවියන්ට පුද පූජා පවත්වනු ලැබේ. කෘෂිකර්මාන්තය සශ්‍රීකවත් කරගැනීමේ අරමුණෙන් ගුප්ත බලවේග විශ්වාසයෙන්ම පමණක් අභිචාර විධි අනුගමනය කළාද? වර්තමානයේ දුරස් වෙමින් පවතින ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජන සංස්කෘතියේ වැව මූලික කරගත් අභිචාර විධි පිළිබඳ ග්‍රන්ථ සංධාරයෙන් හා ප්‍රායෝගික කෙෂත්‍ර අධ්‍යයනයෙන් දත්ත විශ්ලේෂණය සිදු කරන ලදි. 

වැව මූලික කරගත් පූජාවන් පිළිබඳ සඳහන් වන පැරණිම පුවත වාර්තා වන්නේ මහාවංසයෙනි. ඒ පණ්ඩුකාභය රාජ්‍ය සමයට අදාළවයි. අභය වැව යට භාගයෙහි විසූ චිත්‍රරාජ යක්ෂයා (චිත්‍රරාජයා හා සම අස්නෙහි සිටිමින් රජතුමා දිබ්බ මානුෂ නැටුම් නරඹමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇලවී) සම්බන්ධ පූජාවන් පිළිබඳව සඳහන් වේ. වැව හා සම්බන්ධ පූජාකර්ම අතර ප්‍රධාන වන්නේ අයියනායක දෙවියන් ය. අයියනායක මුත්තප්පා හෝ අයියනායක අත්තප්පා වශයෙන් ගැමියන් විසින් හඳුන්වනු ලැබේ. (මහාචාර්ය රැල්ෆ් පීරිස් පෙන්වා දෙන්නේ අයියනායක යනු ද්‍රවිඩ සම්භවයක් ඇති කයියර් හෙවත් අයියර් බවයි. පසුව අයියනාර් වශයෙන් ඔහුව හැඳින්වූ බව එතුමා කියයි.) ද්‍රවිඩ සම්භවයක් ඇති වාරි ඉංජිනේරුවරයෙක් මේ නමින් හඳුන්වනු ලබන බව ද තවත් විශ්වාසයකි. ඇතැම් වැව්වල වැවේ නමින්ම දෙවියන්  හැඳින් වේ. එනම්, මින්නේරි වැවේ “මින්නේරි දෙවියන්” කලා වැවේ “සෙනරත් කඩවර බණ්ඩාර දෙවියන්” පදවිය වැවේ “පදවිය දෙවියන්” වශයෙනි. සෑම වැවකම අයියනායක දෙවියන් ද, පුල්ලෙයාර් අත්තප්පා ද පිදුම් ලබති. දේව පුද පූජාවල දී මුලින්ම තෙරුවන් සිහි කරනු ලබයි. 

වැව හා සම්බන්ධ පූජා කර්ම කිහිපයකි. මුට්ටි නැමීමේ මංගල්‍යය, පූජා වෙඩිල්ල, කිරි ඉතිරවීමේ මංගල්‍ය, පැන් පෙරහැර, වැහි පිරිත් මංගල්‍ය ආදි අභිචාර විධි ප්‍රධාන වේ. 

මුට්ටි නැමීමේ මංගල්‍යය

වසර පහකට හෝ හතකට වරක් පවත්වනු ලබන උසස් පූජා කර්මයක් හෙවත් ගැමියන් විසින් සශ්‍රිකත්වය ප්‍රාර්ථනා කරගෙන වැව් මූලික කරගෙන සිදු කරනු ලබන මංගල්‍යක් වශයෙන් මුට්ටි නැමීමේ මංගල්‍යය හදුන්වාදිය හැකිය. මුට්ටි නැමිල්ල, වැවේ රාජකාරිය, මුල් මංගල්ලේ, හත්කට්ටුවේ රාජකාරිය, ගමේ රාජකාරිය ආදී නම්වලින් මුට්ටි නැමීමේ මංගල්‍යය විවිධ පළාත්වල හදුන්වනු ලැබේ.   

මේ සඳහා කපුරාල  හා අනුමිතිරල ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන අතර යල-මහා කන්න අතර මහකන්නයේ වර්ෂාව ලැබීමෙන් පසුව මෙම මංගල්‍යය සිදු කරයි. වැව් හොඳින් පිරී තිබීම මේ සඳහා හොඳම කාලය වන අතර අයියනායක දෙවි, ඉලන්දාරි දෙවි පස් කටුව ඉලන්දාරි දෙවි යනු මින්නේරි ප්‍රදේශයට අවේනික ගම්භාර දෙවියෙකි. වෙනුවෙන් මෙම මංගල්‍යය සිදු කරයි. වැව වාන් දැමීමට ආසන්න වෙත්ම මුට්ටි නැමීමේ මංගල්‍යයට භාර වන බවත් අස්වැන්න කපාගත් පසු මුට්ටි නැමීමේ මංගල්‍යය පවත්වන බවත් ආර්.ඩබ්.අයිවර්ස් සඳහන් කර ඇත. මුට්ටි නැමීමේ මංගල්‍යය හා සම්බන්ධ යාතිකාවට අනුව මෙය මහසෙන් රාජ්‍ය අවධියේ සිටම පැවත එන්නකි. 

පුජා වෙඩිල්ල

හුන්නාකඩ මංගල්ලේ, අයියනාමුනේ වෙඩිල්ල යන නම් වලින් හදුන්වන පූජා වෙඩිල්ල වැවක කඩවලක් බිඳී යාමට ආසන්න වෙත්ම එය වලක්වා ගැනීමට දෙවියන්ට භාරවී වැවට වෙඩි තැබීම ලෙස පැහැදිලි කළ හැක. මෙය වැවක විනාශය වලක්වා ගැනීම සඳහා දෙවියන් උදෙසා පවත්වන ගෞරවාචාරයක් වශයෙන් සිදු කරන අතර නියම කරගත් දිනයක් හෝ ස්ථිර දිනයක් නොමැත. එසේම වැවක් බිඳී යන තැන කඩවල හෙවත් හුන්නාකඩ ලෙස පැවසයි. ගමරාල හෝ වෙල් විදානේ තීරණය කළ  පසු පූජා වෙඩිල්ල වැව මැඳ පවත්වයි.

කිරි ඉතිරවීමේ මංගල්‍යය

වැව් බැඳී රාජ්‍යයේ විවිධ පළාත්වල විවිධ අරමුණු වෙනුවෙන් කිරි ඉතිරවීමේ මංගල්‍යය පවත්වනු ලබයි. කමත, හරක් පට්ටිය, දේවාල, කිරි වදින ගොයමට හානි කරන සතුන් එලවා දැමීමට භාරයක් ආදී වශයෙන් කිරි ඉතිරීමේ මංගල්‍යය නොයෙක් අවස්ථාවන් වල දැකිය හැකිය.

එසේම වැවට අයිති පන්ගුකරුවෝ සියල්ලම මෙයට දායක වන අතර සම්පත් සම්පාදනය කරති. කන්නයේ ශෂ්‍ය කපාගත් පසු කිරි ඉතිරීම සිදු කරයි. කිරි ඉතිරීම සඳහා ගන්නේ අළුත් සහල් බැවින් මෙයට අළුත් සහල් මංගල්‍යය යනුවෙන් හදුන්වයි. මෙයටම පුක්ක දානය” යනු ද යෙදේ. පුක්ක යනු කිරිබත්වලට නමකිඊලඟ කන්නය දක්වා වැව, ගම, හරකාබාන, ගම්මුන් ආදීන් ආරක්ෂා කරදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීම මෙහිදී සිදු කරයි. මේ සඳහා නියමිත දෙවියන් වෙනුවෙන් වෙන් කළ ගස (සංහිඳ) ඉදිරියේදී කිරි ඉතිරිවිය යුතු වේ. පළමු අස්වැන්න කොටස “අක්යාල” “අක්කියාල” වශයෙන් ද භාවිත වේ. මෙහිදී පුල්ලෙයාර්, අයියනායක හෝ වැවට අධිපති දෙවිඳුන් පිදුම් ලබති.

පැන් පෙරහැර

අනුරාධපුර තිසා වැව ආශ්‍රිතව සිදුකරන මෙම පූජා කර්මය නියං සමයක් ඇති වූ විට එය නිමාකර වැසි ලබා ගැනීමේ අරමුණින් සිදු කරනු ලබයි. පැරණි මිනිස්සු මෙය හඳුන්වනු ලැබුවේ “සිනාන පූජා” යනුවෙනි. මෙහිදී අටමස්ථාන කාරක සභාව හා ජනතාව ද, අටමස්ථානාධිපති නාහිමි ද, සාකච්ඡාකර දිනයක් නියම කර ගනු ලැබේ. පැන් පෙරහැර දිවා කාලයේ සිදු කරන අතර පැන් ගෙන ඒම සඳහා නැවුම් කල, හොරනෑ, දවුල් හේවිසි, ඇතු`එ පෙරහරින් උඩුවියන් යටින් තිසා වැවට ගෙනයනු ලැබේ. ඉසුරුමුනි විහාර නාහිමි විසින් පෙන්වනු ලබන ස්ථානයකින් පැන් ගෙන දිය කලවලට පිරවීම සිදු කරනු ලැබේ. ජලය පෙරා රැගෙන හිස මතින් උඩ ම`එවට පෙරහැරින් වැඩම කරනු ලබයි.මේ සඳහා කාන්තා පුරුෂ දෙපක්ෂයටම සහභාගී විය හැකි ය. රුගෙන ආ ජලයෙන් බෝධින් වහන්සේ නෑවීම සිදු කරනු ලබයි. පසුව භික්ෂුන් වහන්සේ නමක් බෝධිපූජා පවත්වා දෙවියන්ට පින් දී පිරිත් දේශනා කරන අතර මේ පිරිතේ අවසන වැහි පිරිත ද දේශනා කරනු ලැබේ. 

වැහි පිරිත් මංගල්‍යය.

දැඩි නියං සමයක් පැමිණි විට එය නිමා කර වර්ෂාව ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඇයද සිටීම මෙම පුණ්‍ය කර්මයේ අරමුණ වේ. මේ සඳහා ගිහියන් සහභාගිවන අතර පැවිද්දන් සම්බන්ධ වන්නේ ඔවුන් පෙහෙවස් සමාදන් කරවීමාදී කටයුතු වෙනුවෙනි. පිරිත සදඟා ගමරාල ප්‍රධාන ගමේ ප්‍රභූන් තීරණය කරන දිනකදි වෑ පිටියේ සංහිඳ සිට මෙය සිදු කෙරේ. වරු හතක් දක්වා අහස දෙස බලාගෙන වැහි පිරිත දේශනා කිරීම මෙහදී සිදු කරන අතර පළමුව වැවේ විශේෂයෙන් කපාගත් පූ වලකින් අවශ්‍ය ජලය ගෙන එය පෙරා පිරිසිදු කර පිරිත් පැන් සඳහා තබනු ලැබේ.

අනුමිතිරාල විසින් සංහිඳේ පහන් දල්වා දෙවියන්ට ආරාධනා කර අනතුරුව පිරිත ආරම්භ කරනු ලැබේ. මෙහිදී ද උඩැක්කි හොරණැ හේවිසි ආදිය ද භාවිත කරනු ලැබේ. තුන් සූත්‍රයෙන් අනතුරුව වැහි පිරිත සජ්ඣායනා කිරීම මෙම පූජා චාරිත්‍රයේ සිරිත යි. පිරිත අවසානයේ පිරිස විසින් පිරිත් පැං බී අනතුරුව වෙල් විදානේ විසින් ඉතිරිය වැවේ ජලයටත් වෑ පිටියටත් පිරිත් පැන් ඉසීම සිදු කරනු ලැබේ. මෙම වැහි පිරිත් මංගල්‍යය අවසානයේ වර්ෂාව ලැබෙන බව ගැමියන්ගේ විශ්වාසයයි.

මෙම පුදපූජා චාරිත්‍ර පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන්නේ අන්ධ විශ්වාසය හා ගුප්ත බලවේග මතම සිදු නොවූවක් බවත් ගැමියන් තුළ දෙවියන් හා තුණුරුවන් කෙරෙහි තිබූ විශ්වාසය මත ද මෙම පූජාවන් පවත්වා ඇති බවයි. ඔවුනොවුන් තුළ ආත්ම විශ්වාසය, සාමූහිකත්වය, සශ්‍රීකත්වය, සමගිය, පොදු දේපල පාලනය වැනි උතුම් ගුණාංග රාශියක් මේ තුළ අන්තර්ගත විය. වර්තමානයේ දී බොහෝ පුද චාරිත්‍ර ජන ජීවිතයෙන් ගිලිහි යන බව දැකිය හැකි අතර එයට ප්‍රධාන හේතූන් ලෙස ගැමියන් පවසන්නේ තාක්ෂණික දියුණුවත් සමඟ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදු වී ඇති පරිවර්තන ක්‍රියාවලී සහ වත්මන් ගොවියා පැරණි කෘෂි සංස්කෘතියේ පැවති අචිචාර විධික්‍රම පිළිබඳ අනවබෝධයත්, ඒවා කෙරෙහි යොමු වීමට රුචිකත්වයක් නොදැක්වීමත් යන කරුණු ය. කෘෂිකාර්මික ජන ජීවිතයේ අනන්‍යතාවක් වන මෙම පූජා චාරිත්‍ර පිළිබඳ ආචින්න සංකල්ලපමය රටාවකට වත්මන් සමාජය යොමු කිරීම සඳහා බලධාරින්ගේ අවධානය යොමු කර වැඩපිළිවෙලක් සකස් කිරීම සුදුසු යැයි වැඩි දුරටත් විශ්වාස කරන්නෙමු. අද වන විටත් වෙනස්වීම් වලට භාජනය වෙමින් වුව ද වැව මූලික කරගත්  පූජා චාරිත්‍ර අල්ප වශයෙන් හෝ පැවතීම ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික මානව සංස්කෘතිය වෙනුවෙන් සිදුකරන වටිනා කාර්යභාරයකි. 

ආශ්‍රිත ග්‍රන්ථ

👉මහාවංශය සිංහල (සංස්) 2003, බෞද්ධ සංස්කෘතික මධයස්ථානය, නැදිමාල දෙහිවල.
👉සෙනෙවිරත්න අනුරාධා, 2001 පුරාණ සිංහල වාරිසංස්කෘතිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ.
👉ස්වර්ණසිංහ කේ.එම්.අයි, 2006 අපේ වැවෙන් පැං දෝතක්, චාග ප්‍රකාශන, පන්නිපිටිය.
👉අමිල ඉංදික එම්.කේ, 2012, අනුරාධපුර යුගයේ සමාජ ක්‍රමය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ.
👉සුරවීර ඒ.වී, 2010 අනුරාධපුර සංස්කෘතිය  එස් ගොඩගේ සහෝදරයෝ කොළඹ.



Comments

Popular posts from this blog

නිධාන සංකල්පය මුවාවෙන් විනාශවන ශ්‍රී ලංකාවේ කඩඉම් සංකේත පිළිබඳ අධ්‍යයනයක්

මනෝ චිකිත්සාව හා කායික දුක් දුරලීම සඳහා බෞද්ධ භාවනාව කෙරෙහි ඇති නූතන ප්‍රවනතාවය කෙතෙක් දුරට සාර්ථකද? (සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් විමසුමක්)

වැවක මූලිකාංග හඳුනාගනිමු