වැවක මූලිකාංග හඳුනාගනිමු

වැව යනු හුදකලා වූ අංගයක් නොවෙයි. එය ගමකට ඇති වටිනාම සම්පතකි. විවිධ අභිචාර විධි, පුදපූජා සිරිත් වලින් මුසු වූ රමණීය නිර්මාණයකි. එහි විචිත්‍රත්වය හා වටිනාකම තවත් වර්ධනය කිරීමට වැවෙහි අංග ප්‍රධාන දායකත්වයක් සපයයි. වැවක් යනු වතුර පිරී ඇති හුදකලා වලක් නොවෙයි. වාස්තුවිද්‍යාත්මක හා ඉදිකිරීම් තාක්ෂණය උපරිමයෙන් භාවිත කළ නිර්මාණයකි. මිනීසාගේ ජීවනාලය බදු වැවහි ප්‍රධාන අංග කිහිපයක් හදුනාගත හැකි ය. මීළගට ඒ පිළිදව අධ්‍යයනය කරමු. වැවක දළ රූප සටහනක් හා පැරණි වැව් නාමාවලියක් පහතින් දක්වා ඇත.








🔺 වැව් බැම්ම 

වැවක ප්‍රධාන අංගය ව්දියට මෙය හදුන්වා දිය හැකි ය. වැව් බැම්ම නිර්මාණය වූයේ එකිනෙකට ළංව තිබෙන කදුගැට දෙකක් යා කොට බැම්මක් බැදීමෙනි. එම බැම්මෙන් ඉහළ ප්‍රදේශයේ සිට ගලන ජලය එක්රැස් වීම හේතුවෙන් වැව නිර්මාණය විය. වැවෙහි ජල ධාරිතාවට ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වැව් බැම්ම උසට හා ශක්තිමත්ව නිර්මාණය කරනු ලැබේ. බැම්ම තුළින් ජලය කාන්දු නොවන පරිදි එය ඉතා ශක්තිමත්ව මැටි හා පස් යොදා සතුන් ලවා (අලි ඇතුන්, හරක් වැනි) පාගවා ජල පීඩනය දරා සිටීමට හැකිවන ලෙස නිර්මාණය කරන ලදි. වැව් බැම්මක් නිවැරදිව ස්ථානගත කිරීමට පැහැදිළිව මැනීම් සිදුකළ යුතු වේ. වැව් බැම්මට අති විශාල පිඩනයක් දැරීමට අවශ්‍ය විටෙක වැවට ඇතුළතින් කුඩා මිටි තවත් බැම්මක් සාදනු ලැබේ. මෙය කළිඟු බැම්ම යන නමින් ව්‍යවහාර කරයි. එවිට ප්‍රධාන බැම්මට ඇති පීඩනය අවම වේ. 

🔺 රළපනාව
වැව් බැම්මේ ආරක්ෂාව සදහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ පාදමේ කළුගල් තට්ටුවක් අතුරනු ලැබේ. එමගින් වැව් බැම්ම ශක්තිමත් වූවා වගේම රළ පහරට වැව් බැම්ම සේදී යාමෙන්ද ආරක්ෂා විය. මේ ගල් අතුරනු ලැබූ කොටස රළපනාව, රළ පැන්නුම, සළපනාව යන නම් වලින් හදුන්වනු ලැබේ.

🔺 පිටවාන
කෙෂ්ත්‍ර චාරිකා,2018,භි.වි.වි)

වාන යනු වැවක අතිරික්ත ජලය පිටකරනු ලබන ස්ථානය යි. මෙය වැවකට අත්‍යවශ්‍යය වූ අංගයක් වන අතර පිට වාන යනුවෙන් ද එය භාවිතා වේ.  මහාවංසයෙහි වාන හඳුන්වා ඇත්තේ වාරි සම්පාත යන වදනෙන් ය. වාන පිහිටුවා ඇත්තේ වැවේ කෙළවරකට වන්නටයි. බොහෝවිට පිහිටි ගල් තලාවක් ඊට යොදාගත් අවස්ථාවන් ද දිස් වේ. වැවේ ප්‍රමාණය මත වානේ දිග රඳාපවතියි. වානේ ජලය පිටකිරීමේ සීමාව වන්නේ වැවේ උපරිම ජලධාරිතාවට ලඟා වූ සීමාව ය. කලා වැවේ වාන දිගින් අඩි 200 කටත් අධික ය. වැවේ විශාලත්වය ඊට බලපා තිබේ. වාන වැවේ වෑ කණ්ඩියේ කෙළවරකින් පිහිටා තිබේ. එහෙත් ඇතැම් වැව්වල එය පිහිටා ඇත්තේ වෑ කණ්ඩියේ මැදිනි. කලා වැව ඊට නිදසුනකි. කලා හා බළලු යන වැව් දෙකම එකට ඈඳා එය ඉදි කළ බැවින් ඊට සුදුසුම ස්ථානය වන්නේ වැවේ මැද කොටස ය. වෑ කණ්ඩියේ ප්‍රමාණය හා එය තිබිය යුතු ස්ථානය තීරණය කරන ලද්දේ සම්පූර්ණයෙන් ම තාක්ෂණය පදනම් කරගෙනයි. වාන ඉදිකිරීම සඳහා ස්වාභාවික ගල්තාලාවක් නොමැති විටදී විශාල ගල්කුට්ටි අතුරා එය ඉදිකොට තිබේ. එකී ගල් එකිනෙකට වද්දා සවිබල ගැන්වීම කර තිබේ. නූතනයේ මේ සඳහා භාවිත කරනු ලබන්නේ කොන්ක්‍රීට් තාක්ෂණයයි. බ්තාන්ය පාලන සමයේදී වාන් දොරටු දමා ඒවා ඇර තැබීමට හැකි ආකාරයෙන් නිර්මාණය කිරීම නූතනයේ දක්නට ලැබේ. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ සමන්ත පාසාදිකාවේ නිබ්බාන උදක වශයෙන් දක්වා ඇත්තේ වාන බව යි. වැවකට ජලය ලැබෙන අඛණ්ඩ ජල මූලාශ්‍රයක් ඇති විට වැවට රොන් මඩ එකතුවීම වැලැක්වීමට වැව් තාවුල්ලේ යොදනු ලබන කුඩා බැම්ම ගොඩ වාන නොහොත් ඇතුලු වාන යන නම්වලින් හඳුන්වා තිබේ. මෙය පෙරහන යනුවෙන්ද හඳුන්වනු ලැබේ.

🔺 සොරොව්ව

වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව නමින් හැදින් වේ. විශාල වැව්වල සොරොව් කිහිපයක් පිහිටි අවස්ථා දැකිය හැකි ය. සාමාන්‍යයෙන් වැවක සොරොව් දෙකක් දැකිය හැකි ය. වැවේ ජල මට්ටම ඉහල තිබෙන අවස්ථාවක ජලය සැපයිය හැකි ආකාරයෙන් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව නමින් හදුන්වනු ලබන අතර මේ ගොඩ සොරොව්ව මගින් ජල මට්ටමට සාපේක්ෂ මට්ටමේ පිහිටි උස්බිම් ප්‍රදේශ සදහා ජලය සැපයීමට හැකි විය. වැව් බැම්මේ වඩා පහළ මට්ටමකින් පිහිටවනු ලැබූ සොරොව්ව මඩ සොරොව්ව නමින් හදුන්වනු ලැබේ. ජල මට්ටම බෙහෙවින් අඩු වූ කල ජලය ලබා ගන්නේ මේ මඩ සොරොව්වෙනි. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැව හිස් කිරීමටද මඩ සොරොව්ව උපකාරී වේ. කුඩා වැව්වල දකින්නට ලැබෙන්නේ මඩ සොරොව්වක් පමණි. සොරොව්ව වැවක පිහිටි ප්‍රධාන අංගයකි. පණාලි යන වදනින් ද සොරොව්ව හැඳින්වේ. සොරොව්වක ප්‍රධාන අංග 03 කි. 

🔹 වැවේ සිට ජලය ගලා එන බෝක්කුව.
🔹 එම ජලය එකතු වන ළිඳ (බිසෝ කොටුව).
🔹ළිඳේ සිට ජලය ඇළ මාර්ග දක්වා ගෙනයන බෝක්කුව.

කැට සොරොච් තවත් වර්ගයකි. ජලයේ පීඩනය දරා ගැනීමට මේවාට හැකියාව තිබේ. නූතනයේ දැව හෝ වානේ තහඩු සොරොව්වේ දොරවල්  සඳහා භාවිත වේ.

🔺 බිසෝකොටුව
පැරණි වැව් කර්මාන්තයේ විශිෂ්ඨ ශ්‍රී විභූතීය පෙන්නුම් කරන අංගයක් ලෙස බිසෝකොටුව හැදින්විය හැකි ය. මහාවංසයේ බිසෝ කොටුව ප්‍රාණාලිකා යන වදනින් හඳුන්වා තිබේ. විශාල ගැඹුරු වැවකින් වැව් බැම්ම හරහා සොරොව්වක් මගින් ජලය පිටට ගලා යාමේදී ඇතිවන පීඩනය වැව් බැම්මට හානිකර විය හැකි ය. වැව් ඉවුරත් ජල මට්ටමත් එක්වන තැන ගැඹුරු හතැරැස් ළිඳක හැඩයට තනා ඇති බිසෝකොටුව මගින් එකී පීඩනය පාලනය කරනු ලැබේ. බිසෝකොටුව යනු සොරොව්වෙහි ඉදිකල ප්‍රධාන කොටසකි. එම බිසෝකොටුව පතුලේ සිට වැව් කණ්ඩිය හරහා පිටට ජලය ගෙනයනු ලැබේ. අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍ය වේලාවට ජලය ලබා ගැනීම සදහා මෙම බිසෝකොටුවේ විශේෂ ජල පාලක උපකරණයක් යොදා තිබිණි. පැරණි සෙල්ලිපි ආදියෙහි මෙය මොහොල ලෙස හදුන්වා තිබේ. මුල් යුගයේ තනන ලද බිසෝකොටුවලත් පසු කාලයේ තනන ලද බිසෝකොටුවලත් දක්නට ඇති එකම වෙනස විශාලත්වයෙන් වැඩිවීම පමණි. තාක්ෂණික ලක්ෂණවල වෙනසක් සිදුවී නොමැත. එයින් පැහැදිළි වනුයේ බිසෝකොටුව මුල් අවස්ථාවේදීම තාක්ෂණික අංග අතින් පරිපූර්ණ නිර්මාණයක් වූ බවයි.

🔺 දිය කැට පහණ
(කෙෂ්ත්‍ර චාරිකා,2018,භි.වි.වි)
දියකැට පහණ යනු වැවක පවතින ජල ප්‍රමාණය මැන බලනු ලබන උපකරණය යි. විශාල වැව්වල බිසෝකොටුව හෝ ඒ අසන්න ස්ථනයක සිරස් ගල් කුලුණක් සිටුවා එහි තිරස් අතට කට්ට ලකුණු කොට තිබේ. මෙකී කට්ට තුළින් වැවේ ඇති ජල ප්‍රමාණය කෙතරම්දැ යි දැනගත හැකි ය. වැවක ජලය පිරී ඇති ප්‍රමාණය ප්‍රමාණවත්නම් ඒ බව ද දියකැට පහණෙන් දැනගත හැකි ය. කුඩා වැව් සඳහා දියකැටපහණක් නොමැති අතර ඒ වෙනුවට වෙනත් සලකුණු මගින් වැවේ වතුර ප්‍රමාණය දැනගැනීමට  හැකි ය.

🔺 පෝටා වැටි හෙවත් ඉස් වැටි

වැව් තාවුල්ලේ කෙළවරින් පිහිටි ප්‍රදේශය මේ නමින් හඳුන්වනු ලැබයි. වැවට ජලය ගලා එනු ලබන ප්‍රදේශයේ පෝටා හෝ වෙනත් තෘණ වර්ග සිවුටා ආරක්ෂක නියරක් සකස් කරන අතර මෙය ඉස්වැටි හෝ පෝටා වැටි යන වදනින් හඳුන්වනු ලැබේ. වැවට ජලය ගලා ඒමේදි ඒවායේ අඩංගු කසල හෝ රොන් මඩ වැවට ගලාගෙන ඒම වැලැක්වීම, ඒවා පාලනය කිරීම සඳහා පැරැන්නන් විසින් යොදන ලද ස්වාභාවික තාක්ෂණ විධික්‍රමයක් වශයෙන් මෙය හැදින්විය හැකිය. වැව්වල ඇති ජලජ පැලෑටි වලින් ද වැවේ ජලය වාෂ්පීකරණය වීම වැලැක්වීමට විශාල මෙහෙයක් ඉටුකරනු ලබයි. නෙලුම්, ඕලු ආදිය ඒ සඳහා උපකාරී වේ.
 
🔺 වැව් පිටිය
වැව් පිටිය යනු වැවට වතුර පිරුණු පසු ජලයට හසුවන ප්‍රදේශය යි. ගිල්ම, දිය ගිල්ම ලෙස ද මෙය හඳුන්වනු ලැබේ. අඩක් ජලය සිඳී ගිය විට වැව් පිටිය වැව් තාවුල්ල වශයෙන් හඳුන්වනු ලැබේ. ජලය සිඳී ගිය වැව් පිටිය ගවයන්ගේ ක්ෂේම භූමියකි.

🔺 වැව් පෝෂක ප්‍රදේශය
සෑම වැවකටම පෝෂක ප්‍රදේශයක් පවතියි. වැවට ජලය ලැබෙන ප්‍රදේශය මේ යටතේ සාකච්ඡා කෙරේ. වැවකට ජලය ලැබෙන ආකාර 02 කි.
    🔹වර්ෂා ජලය ලැබෙන පෝෂක ප්‍රදේශය.
   🔹ගංගා ඇල දොල ඔය වැනි යමකින් ජලය      ලැබෙන පෝෂක ප්‍රදේශය

වැවට ඉහලින් ඇති වැව් ඉස්මත්ත වැවේ පෝෂක ප්‍රදෙශයයි. වැව්පෝෂක ප්‍රදේශය අනිවාර්යයෙන්ම වනාන්තරයක් විය යුතු ය. දුර්ලභ ශාක මෙන්ම බෙහෙත් පැලෑටි ද එහි වේ. වැවේ පෝෂක ප්‍රදේශයේ ගස් කැපීම දඬුවම් ලැබියයුතු වරදකි.

මේ අනුව බලන කල්හි වැවයි පංසලයි පූජනීයත්වයෙන් දෙකක් නොව එකක් ය. ඒ තරම් වැවට ගෞරවාදරයක් දැක්වීමට ගැමියන් හුරුපුරුදුව සිටියෝ ය. පෙර රජවරුන් කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කළ සේවය පිළිබදවත් ක්‍රමයෙන් දියුණු වූ ශ්‍රී ලංකාවේ වැව් නිර්මාණයේ වැවට එකතු වූ නව අංග හා මූලිකාංග පිළිබදව පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය තුළින් අවස්ථාව සැලසෙනු ඇතැයි විශ්වාස කරමි.

විශේෂ ස්තුතිය:-
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමිපාණන් වෙත.

සටහන :-
දිවුලපැලැස්සේ රතන වංශ හිමි
ගෞරව ශාස්ත්‍රවේදී  (පුරාවිද්‍යා) 
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය. 
අනුරාධපුර




Comments

Popular posts from this blog

නිධාන සංකල්පය මුවාවෙන් විනාශවන ශ්‍රී ලංකාවේ කඩඉම් සංකේත පිළිබඳ අධ්‍යයනයක්

මනෝ චිකිත්සාව හා කායික දුක් දුරලීම සඳහා බෞද්ධ භාවනාව කෙරෙහි ඇති නූතන ප්‍රවනතාවය කෙතෙක් දුරට සාර්ථකද? (සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් විමසුමක්)