සංරක්ෂණ ඉතිහාසය හා ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණයේ විකාශනය
උරුම සංරක්ෂණ ඉතිහාසයය පිළිබඳව විමසා බැලීමේ දී එය පුරාණ ස්මාරක හා ගොඩනැගිලි ඇතුළු චංචල හා නිශ්චල සංස්කෘතික දේපළ වන පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම සඳහා සිදුකරනු ලබන ක්‍රියා ප්‍රතිපදාව ලෙස හඳුනාගත හැකි ය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය ප්‍රාග් ඓතිහාසික යුගය (ශිලා යුගය) මූල ඓතිහාසික යුගය (යකඩ යුගය) හා ඓතිහාසික යුගය දක්වා වු කාල රාමුවට අයත් වේ. එය අවුරුදු මිලියන එකක් පමණ ඈතට විහි දී යයි. එයට හේතුව වන්නේ අනුමාන කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධක ඒ කාල වකවානුවේ සිට සොයා ගෙන තිබීම යි. යකඩ යුගය ක්‍රි.පූ. 1000 සිට ද ඓතිහාසික යුගය ක්‍රි.පූ. 500 සිට ද ආරම්භ වන බව ඒ කාල වකවානුවට අයත් පුරාවිද්‍යා උරුම සාධක තහවුරු කර තිබේ. පුරාවිද්‍යා උරුමය අවධියෙන් අවධියට ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කර තිබේ. එහි දී කළමනාකරණ උපක්‍රමය විශේෂයෙන් පෙන්වා දිය හැකි ය. ලොක් සංවර්ධන ව්‍යාපෘති මගින් උරුමයන්ට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා විවිධ විධි උපක්‍රම භාවිත කර තිබේ. පුරාවිද්‍යා උරුම වස්තූන්ට සිදුවිය හැකි හානි වළක්වා එම උරුමය ආරක්ෂා කිරීම උරුම සංරක්ෂණයේ ප්‍රධාන මූල මූලධර්මය යි. (ගුණවර්ධන, 2005, පි. 12-14)
පුරාවිද්‍යා උරුම සංරක්ෂණ ඉතිහාසය බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කේන්ද්‍රකොට ආභාසය ලබා ඇති බව පෙනේ. බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලය තුළ දීම සංඝයා වහන්සේලා සඳහා විහාරාරාම ගොඩනැගිලි තම වාසස්ථාන ලෙස පරිහරණය කිරීමට අනුදැන වදාළ හ. භික්ෂූන් පරිභෝජනය කරන විහාරාරාමවල කලින් කළ ඇතිවන කැඩී බිදී යාම හමුවේ ඒවා අලුත්වැඩියා කරගත යුතු ආකාරය චුල්ලවග්ග පාලියේ සඳහන් කර තිබේ. එම ධර්ම කරුණු තුළ කළමනාකරණය යන වචනය නොමැති නමුත් උරුම කළමනාකරණය පිළිබඳ අවධානය යොමු කර ඇති බව දැකිය හැකි ය. (ගුණවර්ධන, 2005, පි.14; මැන්දිස් සහ ගුණරත්න, 2016, පි.239)
තෙන ඛො පන සමයෙන විහාරා තිච්ඡදනා හොන්ති.
සීතකාලේ සීතා උණ්හකාලේ උණ්හා.
භගවතෝ ඒතමත්ථං ආරෝචෙසුං.
“අනුජානාමි භික්ඛවේ ඕගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුන්ති.”
ඒ සමයෙහි විහාරයෝ තණ සෙවෙණි ඇත්තෝ වූහ. ශීත කාලයෙහි ශීත ද උෂ්ණ කාලයෙහි උෂ්ණ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළකළහ. “මහණෙනි ඝන දඬු යොදා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට අනුදනිමි” යි වදාළසෙක්. (සේනාසනක්ඛන්ධකය, 2005, පි.134-135)
➤ඒ සමයෙහි විහාරයෙහි බිත්ති මුල දිරයි. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළකළ හ. ”මහණෙනි කුලුංක පාදකය ලී විද කණු සිටවුා කළ බිත්ති පාදය අනුදනිමි” යි වදාළ සේක.
➤විහාරයේ බිත්තිය තෙමෙයි. “මහණෙනි රැකවල් පැළැල්ල ද වසුගොම, අළුමැටි එකට අනා තැනූ බදාමය ද අනුදනිමි” යි වදාළ සෙක්. (එම, 2005, පි.147-149)
තවත් විටෙක නොපහන් ජනයාගේ පැහැදීම සඳහා ආකර්ෂණය කරනු වස් ආරාමයේ අලංකාරය වැඩි කර ගැනීම සඳහාත් කළ යුතු කාර්යයන් කිහිපයක් ම බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙයි. ඒවා එකල වර්ණය ලබාගැනීම පරමාර්ථ කර ගත්ත ද දිගුකල් පැවැත්ම කෙරෙහි ද මහෝපකාරී වන්නට ඇතැයි සිතිය හැකි ය.
තේන ඛෝ පන සමයේන තිත්ථියානං සෙය්‍යා සේතවණ්ණා හොන්ති.
කාලවණ්ණකා භූමි ගෙරුකපරිකම්මකතා භිත්තී.
බහූ මනුස්සා සෙය්‍යාකෙඛකා ගචඡන්ති.
භගවතා ඒතමත්ථං ආරොචෙසුං.
“අනුජානාමි භික්ඛවේ විහාරෙ සෙතවණ්ණං කාලවණ්ණං ගෙරුක පරිකම්මන්ති.”
∎වෙහෙරෙහි සුදු පැහැ, කළු පැහැ, ගුරු පැහැ, පිරියම් කරන්නට උපදෙස් දෙයි. රළු බිත්ති සුදු පැහැ නොරැදෙන විට දහයියා පිඬු අත්ලෙන් තුනී කර සුදු පැහැ රදවන්නට උපදෙස් දෙයි, සුදුපැහැ එකට නොබැදෙන විට සියුම් මැටි සමඟ මිශ්‍රකර සුදු පැහැ රඳවන්නට උපදෙස් දෙයි. එයින් ද සුදු පැහැය එකට නොබැඳෙන විට මැලියම් ද පිටි කැඳ ද සමග මිශ ්‍රකර එසේ කිරීමට උපදෙස් දෙයි.
∎ රළු බිත්තියේ ගුරු පිරියම් නොබැඳෙන විට දහයියා පිඬු අත්ලෙන් මැද ගුරු පැහැ රදවන්නට උපදෙස් දෙයි. ගුරු පැහැය බිත්තියේ රැදවීමට දහයියා අළු සමඟ යෙදීම ප්‍රයෝජනවත් නොවෙත් නම් කුඩු මුසු මැටි සමඟ ද එයිනුත් නොහැකි නම් අබ පිටි හා ඉටි දියර ද සමඟ යොදන්නට උපදෙස් දෙයි. තැන තැන බිංදු වශයෙන් උස්ව නැගී සිටිය හොත් රෙදි කඩකින් පිස දෙන්නට උපදෙස් දෙයි.
∎රළු බිමහි කළු පැහැය ගැල්වීම සඳහා දහයියා අත්ලෙන් මැද යොදන්නටත් එය ප්‍රමානවත් නොවෙයි නම් ගැඩවිලි පස් සමඟ ද එසේත් නොවන්නේ නම් මැලියම් සමඟ නෙල්ලි ආදියේ කසට ද යොදන්නට අනුදැන වදාළයි. (එම, 2005, පි.142-145)
∎ජලයෙන් වන විනාශයන් හමුවේ භික්ෂූන්ගේ සෙනසුන් තරමක් උස් භූමියක ඉදිකරන්නටත් ගඩොල් බැමි, ගල් බැමි හා දඩු බැමි යන තුන් බැමි වර්ගය යොදා ගන්නටත් නිර්දේශ කරයි. (එම, පි.147)
∎ඇඳ කකුල් හා පුටු කකුල්වලින් පිරියම් කළ බිම සීරෙන විට ඒවාට රෙදිකඩක් වෙලන්නට උපදෙස් දෙයි. (එම, පි.142-145)
බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ ද භික්ෂූන් තම අභිමතය පරිදි කළා වූ ද විහාරාරාම ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ග අතර,
පටිසංකරණ (ප්‍රතිසංස්කරණය) ඛණ්ඩවුල් පටිසංකරණ (කැඩී බිදී ගිය තැන් සැකසීම) පුන කිරීම හෙවත් (නැවත ඉදි ඉදිකිරීම) නවාම්කර හෙවත් (අලුත්වැඩියා කිරීම) ඛණ්ඩජසංඛරී, පාතනික (දිරූ තැන් අලුත්වැඩියා කිරීමේ කටයුතු) ජිනපටි ගතක (දිරූ තැන් සැකසීම) ජින අපතු (දිරුම් ඉවත් කිරීම) ජිනංහෙඔය (දිරූ තැන් පිරවීම) ජින පටිසතර (කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම) යනාදී කටයුතු සිදු කළ බව චුල්ලවග්ග පාලියේ සඳහන් වේ. එපමණක් නොව මෙම කටයුතු මහා පරිමාණයේ කුඩා පරිමාණය දක්වා සිදුකර ගැනීමට භික්ෂූන් කටයුතු කළ යුතු වේ. එසේ නොකර දිරාපත්ව ජීර්ණය වීමට ඉඩ හැරීම භික්ෂූන්ගේ යුතුකම් පැහැරහැරීමක් ලෙස දක්වා තිබේ. භික්ෂු ආරාම, ආවාස, ගොඩනැගිලි, ස්තූප, බෝධිඝර, ථූපඝර ජන්තාඝර ආදී අනෙකුත් සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ දී පිරිස් රැස් කිරීම සඳහා බෙරයක් හෝ හක්ගෙඩියක් නාද කිරීම තුළින් සන්නිවේදනය කිරීම සුදුසු ක්‍රමයක් බව අංගුත්තර නිකායේ නිකායට්ඨකථාවේ සඳහන් වේ. (රාහුල හමිි, 1962, පි.227)
සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධව විහාරාරාමය විසින් පවත්වාගෙන ගිය ස්වාධින පරිපාලන ව්‍යුහය මූලික වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අයත් වේ. එනම්,
1. විහාරාරාමය සංරක්ෂණ ශ්‍රම බලකාය
2. කර්මාන්ත ශිල්පී කණ්ඩායම්
3. ගිණුම් වාර්තා සකස් කිරීම වශයෙනි.
ජරාජීර්ණව පැවති ගොඩනැගිලි ආදිය අලුත්වැඩියා කොට එහි නිමාව යහපත් අන්දමින් පවත්වාගෙන යාම සදහා විහාරාරාමය විසින් ශ්‍රම බලකායක් (විහාරාරාම අලුත්වැඩියාවට අමතරව ශ්‍රම බලකායට අයත් ශ්‍රමිකයො ් වාරිමාර්ග, කෘෂිකර්මය, ආගමික උත්සව, ආහාර පිළියෙල කිරීම, භික්ෂූන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා සේවය කිරීම, ආදියේ නිරතව සිටියහ.) නිත්‍ය වශයෙන් සේවයේ යොදවා තිබුණි. මෙම බලකාය නියම වශයෙන් ම කී දෙනෙකුගෙන් සමන්විත ද යන්න තොරතුරු ස්ථිර වශයෙන් පැවසිය නොහැකි ය. අභයගිරි විහාරයේ නවවැනි සියවසට අයත් සෙල් ලිපියකට අනුව ගල්වඩුවන් (ශිලා කුටටක) සහ ලී වඩුවන්ට (තක්ෂක) විහාරය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා ආදායම් ලබා ගැනීම වස් වෙන්කර තිබූ ගම්වලින් (නව කර්ම ග්‍රාම) එක් අයෙකුට කුඹුරු කිරි එකහමාරක් බැගින් පැවරීම නියමිතව තිබුණි. මීට අමතරව ධාන්‍ය වර්ග (කුධාන්‍ය) වගා කිරීම් සඳහා වාරි ජලය නො නොමැති ඉඩම් (හේන්) ද ඔවුන්ට දී තිබුණි. (ගුණවර්ධන, 2005, පි.53)
විහාරාරාම අලුත් අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා විහාරාරාම විසින් පවත්වාගෙන ගිය කර්මාන්ත ශිල්පීන් කාර්ය මණ්ඩලය පැරණි ශ්‍රී ලංකාවේ උරුම ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් ආයතනික ව්‍යුහයක් ලෙස දැක්විය හැකි ය. විහාරාරාමය ජරාවාස වී යන ගොඩනැගිලි ආරක්ෂා කොට පවත්වාගෙන යාම සදහා කැප වී සිටි මේ ශිල්පීන් නිත්‍ය සේවයේ යෙදී සිටි කාර්ය මණ්ඩලයකි. කර්මාන්ත ශිල්පීන් කණ්ඩායම විශේෂඥතා අනුපිළිවෙලකින් යුක්ත තනතුරු දැරූ නිලධාරී තුන්දෙනෙකුගෙන් සමන්විත ය. එනම්,
1. වඩු මහා ඇදුරු (ප්‍රධාන ශිල්පාචාරී)
2. ඇඳුරු වඩු (දෙටු ශිල්පීහු)
3. සිර් වඩු (කම්කරු පිරිස්) වශයෙනි.
කර්මාන්ත ශිල්පී කණ්ඩායමේ මූලිකයා වූයේ ප්‍රධාන ශිල්පාචාරි තැන ය. ඔහුට සිය ඉඩම් කොටස වශයෙන් වාරි ජලය රහිත ඉඩම් යායක් ලැබුණි. ඔහ ුයටතේ තවත් දෙටු ශිල්පීහු දෙදෙනෙක් වූහ. විශාලතම වැඩ කණ්ඩායම වූයේ සිර් වඩු නමින් යුක්ත කම්කරුවන් අටදෙනා ය. විහාරාරාමය කම්කරු පිරිස් අතර උළුවඩු නමින් හැඳින් වූ දෙදෙනෙක් ද, මැණික් වැඩකරුවන් දෙදෙනෙක් ද, කම්මල් කරුවන් දෙදෙනෙක් ද වූහ. මේ සේවකයන් සියල්ලට ම අනුරාධපුර යුගයේ දී වඩුදෙවාගම නමැති ගමේ ආදායමින් පංගුවකට හිමිකම් තිබුණි. ඊට අමතරව ලී වඩුවන් සදහා කිරිය 1 බැගින් ද (කිරිය 1ක් අක්කර 14යි.) මැණික් වැඩ කරුවන් සදහා කිරිය 3 බැගින් ද (අක්කර 42ක්.) කම්මල් කරුවන් සදහා එක් කිරිය බැගින් ද හමිි වී තිබුණි. විහාරයේ සේවයේ යෙදී සිටි කරත්තකරුවන් සදහා හය දෙනෙකුගෙන් විහාරයට අවශ්‍ය හුණු ප්‍රවාහන සේවා සැපයීම සිදු කොට ඇත. (එම, 2005, පි.54)
විහාරාරාමය විසින් පවත්වාගෙන ගිය පරිපාලන ව්‍යුහයේ කැපී පෙනෙන අංගයක් වූයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධ ගිණුම්කරණයට අදාළ අයවැය වාර්තා කටයුතු ය. මේ අනුව පොත් තැබීම, ගිණුම් කටයුතු ආදිය ක්‍රමානුකූලව පවත්වාගෙන ගිය අන්දම පැරණි සෙල්ලිපිවල සඳහන් විස්තර අනුව පැහැදිලි වේ. අභයගිරි විහාරයේ සංස්කෘත අභිලේඛනයෙන් පඤ්ජිකා නමින් ද සිංහලයේ පස්පොත නමින් ද හඳුන්වා ඇති ලේඛන විහාරාරාම විසින් පවත්වාගෙන ගිය විශේෂ වාර්තාවක් ලෙස පෙනේ.
මිහින්තලේ සෙල්ලිපි අනුව පැහැදිලි වන්නේ විහාරාරාම අලුත්වැඩියා කටයුතුවල නිරතව සිටි පිරිසගේ ගෙවීම් කටයුතු ඇතුළුව වෙනත් දීමනා ආදිය මේ පොත්වල සටහන් කිරීම අනිවාර්ය කාර්යක් වූ බවකි. ලේඛන පවත්වාගෙන ගිය විහාරාරාමයේ භික්ෂුව හඳුන්වා ඇත්තේ පඤ්ජිකා ස්ථවීර යන නමිනි. පඤ්ජිකා හෙවත් පාස්පොත යන විශේෂ ග්‍රන්ථයෙහි ඇතුළත් වී තිබූ සියලු සටහන් කේන්ද්‍ර කොටගෙන විහාරාරාම පාලක සභාව විසින් දෛනික ගිණුම් ප්‍රකාශ සකස් කළේ ය. එහි විහාරාරාම ප්‍රතිසංස්කරණ සදහා සම්බන්ධ තොරතුරු අඩංගුව පැවතුණි.
මේ දෛනික ගිණම්ු ලේඛනය නියමිත පරිදි අත්සන් කොට අගුළු දැමූ පෙට්ටියක බහා පාලක සභාවට වෙන්වී තිබූ මුද්‍රාවෙන් ලකුණු කොට එය ධාතුඝරය තුළ තැන්පත් කරන ලදී. පරිපාලන ස්වභාවය දෛනිකව ක්‍රියාත්මක වූ බව වාර්තා වී තිබීමෙන් ගම්‍යමාන වන ප්‍රධාන කරුණ වන්නේ විහාරාරාම ප්‍රතිසංස්කරණ කටයුතු විමර්ශනය කිරීම සඳහා පාලක සභාව විසින් මහත් උනන්දුවකින් දිනපතා රැස් වී ඒ පිළිබඳ සාකච්ඡා කොට වාර්තා සකස් කළ බවකි. ප්‍රධාන විහාරාරාමය මෙන් ම ඊට අනුබද්ධ වෙනත් විහාරාරාමයන්හ ි ආදායම් හා වියදම්වල සම්බන්ධව මූලික ගනුදෙනු පරීක්ෂා කිරීම පාලකසභාවකින් ඉටු වූ අන්දම මිහින්තලේ සෙල්ලිපි මගින් පැහැදිලි කෙරේ. විහාරාරාම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට ඒවායේ උරුමය ආරක්ෂා කිරීම, සංඝයාගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම ආදී පුළුල් ක්ෂේත්‍රයක මේ පාලක සභාවේ කටයුතු ව්‍යාප්තව තිබුණි. මිහින්තලේ පුවරු ලිපිය අනුව විහාරය විසින් පවත්වාගෙන ආ වාර්තා පොත තුළින් ඉඩම්වලින් ලැබෙන ආදායම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා කරන ගෙවීම් ආදිය වාර්තා කළ බව සඳහන් වේ. මේ ගිණුම් තැබීමේ ක්‍රමය දෛනිකව සිදුකළ යුතු අතර එය පදනම් කොට සෑම මාසයක ම ගිණුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු විය. මාසික ගිණුම් උපයෝගී කර ගෙන අවසානයේ දී වාර්ෂික ගිණම්ු ප්‍රකාශ සකස් කොට සංඝ සභාව වෙත ඉදිරිපත් කරන ලදී. අවුරුදු පතා ගිණුම් නිරීක්ෂණය කිරීමේ සම්ප්‍රදාය මෙන් ම වප් මාසයේ අටවක දිනට ප්‍රථම තම ගිණුම් ඉදිරිපත් කරන ලෙස විහාරයේ නිලධාරීන්ට පනවා තිබූ නියමයන් කලුදියපොකුණ සෙල්ලිපිය තුළින් විද්‍යමාන වේ. (එම, 2005, පි. 55-56)
ශ්‍රී සංඝබෝධි අභයරාජ රජු රාජ්‍යත්වයට පැමිණ දසවැනි වසරේ දී ( සඩ වන මිහිඳු ක්‍රි.ව. 952-972) විහාරාරාමවල උරුම සංරක්ෂණය පිළිබද ක්‍රමාණුකූල පිළිවෙතක් තිබූ බවට හොඳ ම උදාහරණය ලෙස අභයගිරි හා චේතියගිරි විහාරයන්හි විසූ භික්ෂූන් වහන්සේලාගේ පොදු එකඟතාවකට අනුව ගත් තීරණ මත කළ මිහනි්තලේ පුවරු ලිපිය එහි, විහාරයේ නඩත්තු කටයුතු, භික්ෂූන් වහන්සේලාට දිය යුතු දීමනා, නිලධාරීන්ට දිය යුතු දීමනා, භික්ෂූන් වහන්සේලා පිලිපැදිය යුත කරුණු, කාර්මිකයන්ට දිය යුතු දීමනා, විහාරයට අයත් දේපළ විහාරයට ලැබිය යුතු බදු, වරද කළවුන්ට දඩ ගැසීම හා දඬවුම්, ගිහියන් සදහා නීති, දේපළ හා අයවැය ලේඛන ගත කිරීම යනාදී කරුණු පිළිබඳ සඳහන් කොට තිබේ, (මැන්දිස් සහ ගුණරත්න, 2016, පි.246) දෛනික, මාසික හා වාර්ෂික අයවැය වාර්තා සකස් කිරීම ඇතුළු වෙනත් වාර්තා සකස් කිරීම තුළින් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කටයුතු පරිබාහිර ව්‍යුහය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට විහාරාරාම සදහා හැකියාවක් තිබූ බව මේ අනුව පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණය පිළිබද අවධානය සමාජගත වීමත් සමඟ එය විශාල වශයෙන් සංස්කෘතික හා ස්වාභාවික උරුමය ආරක්ෂා වීම සඳහා මනා පිටුවහලක් විය. මෙම සංරක්ෂණ සංකල්පය ප්‍රධාන අවධි තුනක් යටතේ හඳුනාගත හැකි ය. (මැන්දිස් සහ ගුණරත්න, 2016, පි.251) එනම්,
1. සංරක්ෂණ ඉතිහාසයේ පළමු යුගය
2. සංරක්ෂණ ඉතිහාසයයේ දෙවැනි යුගය
3. සංරක්ෂණ ඉතිහාසයේ තෙවැනි යුගය
වශයෙනි. මෙරට බුදු දහම ස්ථාපිත වීමත් සමඟ සංරක්ෂණ සංකල්පය ආරම්භ වී ඇති බව විශ්වාස කළ හැකි ය. එය ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත ඉතිහාසයකට දිව යයි. ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩම කිරීමත් සමඟ විවිධ අයුරින් එය රැකබලා ගැනීම, වන්දනාමාන කිරීම ආදී කටයුතු සිදු විය. ක්‍රි.ව. 4 වැනි සියවසේ දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමඟ එය තැන්පත් කිරීම හා ප්‍රදර්ශනය සදහා ගොඩනැගිලි ඉදි කරමින් පවත්වාගෙන යෑමට කටයුතු සිදු කරන ලදි. අනුරාධපුර යුගයේ අභයගිරි විහාරයේ දළදා මැඳුරේ සිට වර්තමානයේ දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා මහනුවර සකස් කරන ලද මාලගිාව දක්වා විවිධ පාලකයන්ගේ මැදිහත්වීම් හා අනුග්‍රහයෙන් මෙම කටයුතු සිදු වී තිබේ. දේවානම් පියතිස්ස රජු විසින් ශ්‍රී මහා බෝධිය රැගෙන ආ නෞකාවේ කුඹහිටිය, කෙනිපාතය හා පළුපත යන අංගයන් චූලංගන, මහාංගන, සිරිවඞ්ඪන යන මැදිරි තුනක තැන්පත් කර ඇති බව මහාවංසයේ සඳහන් වේ. මෙලෙස රජවරුන්ගේ හා රාජකීය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් බෞද්ධ සංස්කෘතික උරුමය හා ස්වභාව සෞන්දර්ය පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව කටයුතු කළ අවස්ථාවන් සංරක්ෂණ ඉතිහාසයේ පළමු යුගය තුළ හඳුනාගත හැකි ය. (එම, 2016, පි.251-253)
සංරක්ෂණ ඉතිහාසයේ දෙවැනි යුගය ආරම්භ වන්නේ යටත් විජිත සමයේ දී ය. මෙම කාලය ගවේෂණාත්මක හා පරීක්ෂණ යුගයක් වශයෙන් හා හඳුනාගත හැකි ය. මෙරට මහා සංඝයා විසින් ලන්දේසි ආණ්ඩුකාර ඉමන් විල්ලෙම් ෆල්ක් (1765-1785) වෙත යවන ලද ලිපියක මෙරට බුද්ධ ප්‍රතිමා, මහා බෝධිය, ධාතු තැන්පත් විහාරාරාම විනාශ නොකිරී යමෙකු විසින් කළ යුතු බවත් එසේ නොකළහොත් ඔහුට මරණීය දණ්ඩනය දිය යුතු බවත් සඳහන් කර තිබේ. (ගුණවර්ධන, 2005, පි.64) උඩරට ගිවිසුමේ හයවැනි වගන්තියට අනුව මෙරට උරුමය ආරක්ෂා කිරීමේ කාර්යභාරය අන්තර්ගත කර ඇත. යටත් විජිත පාලන සමය හා එම කාල වකවානුව තුළ පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සදහා විවිධ ක්‍රියාවලි හා ප්‍රතිපත්ති සිදුකර ඇති බවත් 1890 දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම්ත් සමග මෙරට උරුම සම්පත් ආරක්ෂා කිරීම් සඳහා විශාල මෙහෙවරක් සිදු විය. (මැන්දිස් සහ ගුණරත්න, 2016, පි.265)
සංරක්ෂණ ඉතිහාසයේ තෙවැනි යුගය ආරම්භ වන්නේ 1940 - 1960 කාලපරිච්ඡේදය තුළයි. ප්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පත්වන සෙනරත් පරණවිතාන මහතා වසර 16ක තම නිල කාලයේදී පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි. මෙම කාලයේ සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස ස්මාරකවලට අර්ථකථනයක් ලබා දීම ආරම්භක කිරීම, අනුරාධපුර පැරණි නගර සංරක්ෂණය විය යුත්තේ කෙසේ ද යන්න විමසා බැලීම ආදි දෑ සිදු විය. 1960 - 1980 කාලය තුළ විවෘත ආර්ථිකයත් සමඟ මෙම සංරක්ෂණ මූලධර්ම වඩාත් පුළුල් විය. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රඥප්ති සසදමින් ලංකාවේ උරුම ස්ථානයන් පිළිබඳ විශේෂ සැලකිල්ලකින් පුළුල් සංරක්ෂණ ඔස්සේ කටයුතු සිදු කළ යුගයක් ලෙස හදුනාගත හැකි ය. (මැන්දිස් සහ ගුණරත්න, 2016, පි.269270)
මේ අනුව බැලීමේ දී සංරක්ෂණ ඉතිහාසයේ අරම්භය හා ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණයේ ව්‍යාප්තිය සිදු වූ ආකාරය පිළිබද හදුනා ගැනීමට හැකි ය.
👉චුල්ලවග්ගපාළි 2 (2005) බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මලා පුනර් මුද්‍රණය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
👉සිංහල ථූපවංශය, (2005) සංස්, ගුණවර්ධන, වී.ඩි.එස්, සමයවර්ධන පොත්හල (පුද්ගලික) සමාගම, කොළඹ 10.
👉සිංහල මහාවංශය (1994) රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ 10.
👉ගුණවර්ධන ප්‍රිශාන්ත (2005) පුරාවිද්‍යා උරුමය - ආකෘති සංකල්පය, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජාඇල.
👉තුසිත මැන්දිස්, ඩි, ගුණරත්න ශ්‍යාමලී, ආර් (2016) උරුම කළමණාකරන ප්‍රවේශය, නෙත්වින් ප්‍රින්ටර්ස්, මහනුවර.
ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා)
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර
Comments