උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාරය






දිවුලපැලැස්සේ රතනවංශ හිමි
ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා)
ශ්‍රී  ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර

උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳ මෙන්ම එම සංකල්පවල අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්ත්වයන් සාකච්ඡා කරයි. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන්ම ක්‍රියාවලියකි. උරුමය ස්වාභාවික මෙන්ම සංස්කෘතික වශයෙන් ස්පර්ශිත මෙන්ම අස්පර්ශිත ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප්‍රකට කරන අතර උරුමයකට ළඟා කර ගත හැකි ඉහළ ම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි. ආරෝපිත ජගත් උරුම අනන්‍යතාව තත් ක්ෂේත්‍රයන්හි සංචාරක ආකර්ෂණයට ඍජුව ම බලපාන අතර එය ක්ෂේත්‍රයේ උරුම කළමනාකරණ ක්‍රියාදාමයට ධනාත්මක මෙන් ම ඍණාත්මක බලපෑම් එල්ල කරනු ලැබේ. ඒ අනුව විවිධ ක්ෂේත්‍ර සන්දර්භයන්හි ගති ලක්ෂණ මත උරුම කළමනාකරණය සහ සංචාරක ව්‍යාපාරය අතර සබඳතාව විඝටනාත්මක හෝ අන්‍යෝන්‍ය සහජීවන සබඳතාව ප්‍රකට කරනු ලැබේ. මෙම උරුම ක්ෂේත්‍ර වර්තමානයේ ගෝලීයකරණය, වෙළඳපොළ ආර්ථිකය සහ සංස්කෘතික භාණ්ඩකරණය වැනි ප්‍රවණතා අබිමුව විවිධ අභියෝගයන්ට මුහුණ දී ඇත. ඒ නිසා උරුම සම්පත් සංරක්ෂණය සංචාරක අත්දැකීමේ ගුණාත්මක භාවය සහ ප්‍රාදේශීය ප්‍රජා සුබසාධනය ආදී අංශයන්හි තිරසාරභාවය උරුම සැළසුම් තුළින් ආමන්ත්‍රණය කළ යුතු වේ. මෙහි දී තත් ක්ෂේත්‍ර ආශ්‍රිත සහ අනුබද්ධ ප්‍රජාව විශේෂ වශයෙන් අරමුණු කරගත් ප්‍රවේශයක් වෙත යොමුවීම වැදගත් වන අතර එය හුදෙක් අධිපතිවාදී වෘත්තිමය දැනුම මත පමණක් පදනම් නොවිය යුතු ය.

උරුමය (Heritage) නමැති වචනය සංකීර්ණ, පුළුල්, එසේ ම විටෙක පටු, සුනම්‍ය, නිර්වචනය කිරීමට දුෂ්කර වචනයකි. විවිධ විද්වතුන් උරුමය යන්න නිර්වචනය කිරීමට ප්‍රයත්න දරා ඇත. ඔක්ස්ෆර්ඞ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව උරුම කරගත් යමක් ඊට ඇතුළත් වේ. (1996, p'294) මහා සිංහල ශබ්ද කෝෂයේ උරුමය යන්න අර්ථ දක්වා ඇත්තේ පාරම්පරික, අයිතිය, හිමිකම, කෙනෙකුගේ මරණයෙන් පසු වෙනකෙකුට හිමිවන දේපල අයිතිය යන්න ය. (සෝරත හිමි, 1999) ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ ජන්ම දායාදය, ප්‍රවේණිය යන වචන උරුමයට සමානාර්ථ සහිත ය. (මළලසේකර, 2007) වාග් විද්‍යාඥයින්ට අනුව උරුමය තුළට ආරක්‍ෂා කිරීමට පෙලඹෙන, පූර්ව පරම්පරාවන්ගෙන් උරුම වූ වාස්තුවිද්‍යාත්මක ගොඩනැඟිලි, ස්මාරක සහ ගම්මාන ආදිය ඇතුළත් වේ. (Barber, ed, 1998, p' 659) Hewson ට අනුව උරුමය නම්, පූර්ව පරම්පරාවන් විසින් ආරක්‍ෂා කොට වර්තමානයට බාර දී ඇති, එසේ ම සැලකිය යුතු ජන කණ්ඩායමක් විසින් අනාගතයට බාරදීමට අපේක්‍ෂා කරන්නකි. (1989,16) Herbert උරුමය ප්‍රධාන වශයෙන් ස්වාභාවික එනම් ස්වභාව ධර්මය හා බද්ධ වූ උරුමය හා සංස්කෘතික උරුමය ලෙස දෙයාකාරයකට වර්ග කර හඳුනා ගනී. (1995, 4) Hewson සහ Jokilehto සංස්කෘතික උරුමය ලෙස දක්වන්නේ මානවයා විසින් කාලයාගේ ඇවෑමෙන් අත් පත් කරගත් සංකේත, ලේඛන, ක්‍රියාකාරකම් සහ වෙනත් දෑ මුදුන් පමුණුවා ගැනීම ය. (1998, 5)  අර්ථකථනයන්ගේ විවිධතාවක් සහිත “උරුමය” නමැති වචනය වඩාත් පුළුල් අරුතකින් නිර්වචනය කර ඇත්තේ පහත සඳහන් පරිදි ය.

“මෙම පෘථුල සංකල්පයට ස්වාභාවික හා සංස්කෘතික පරිසරය ඇතුළත් වේ. ඒ තුළට භූ දර්ශන, ඓතිහාසික ස්ථාන, ක්ෂේත්‍ර සහ නිර්මිත පරිසරයන් මෙන් ම ජෛව විවිධත්වය, පුරාවස්තු එකතූන්, අතීතයේ සිට ක්‍රියාත්මක වෙමින් පවත්නා සංස්කෘතික ක්‍රියාකාරකම්, දැනුම හා ජීවමාන අත්දැකීම් ඇතුළත් ය. ඒ තුළින් ඓතිහාසික සංවර්ධනය, විවිධ ප්‍රාදේශීය, ජාතික, දේශීය අනන්‍යතාවන් ප්‍රකාශ කෙරෙන අතර, එය නූතන ජීවිතය සමග ඒකාබද්ධව පවතී.”(ICOMOS, 2002)

මෙම නිර්වචනයෙන් උරුමයෙහි විවිධතාව හා එහි අනන්‍යතා මට්ටම් පිළිබඳවත් අවධාරණය කෙරෙන අතර උරුමය අතීතය පිළිබඳව මෙන් ම වර්තමානය හා අනාගතය සමගත් බැඳී පවතින සංකල්පයක් බව පෙනෙයි. උරුම නිර්වචනයේ දී අන්තර්ජාතික දෘෂ්ටිකෝණයෙන් වැදගත් සන්ධිස්ථානයක්1972 යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම සම්මුතියෙන් හඳුනාගත හැකි ය. ලෝක උරුම සම්මුතියේ ඇතුළත් ‘ලෝක උරුම සංකල්පය’ පිළිබඳව සුබවාදී මෙන් ම අසුබවාදී විවේචන තවමත් සාකච්ඡා වන අතර ඒ තුළින් උරුම සංකල්පය විශ්වීය දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කිරීමට පෙලඹේ. 

උක්ත ප්‍රඥප්තියට අනුව ලෝක උරුම වන්නේ විරල, විනාශවන සුළු, නවීකරණය කළ නොහැකි, විශේෂ ඓතිහාසික, විද්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක ගුණාංගයන්ගෙන් සමන්විත සම්පත් ය. මෙම උරුම සංකල්පය ද්‍රව්‍යාත්මක අංශය පමණක් අවධාරණය වූ අසම්පූර්ණ නියෝජනයක් යැයි බටහිර නොවන රටවල් තුළින් එල්ල වූ විරෝධාත්මක විවේචනයන්ට ප්‍රතිචාරයක් ලෙස උරුමයෙහි අස්පර්ශනීය (intangible) පාර්ශවය ආරක්‍ෂා කිරීම සඳහා වූ 2003 ප්‍රඥප්තිය (Convention for the safeguarding of Intangible Heritage) යුනෙස්කෝව විසින් හඳුන්වා දෙන ලදි. (UNESCO)

උරුමය පිළිබඳ විවිධ නිර්වචනයන්ට අනුව එය අතිශයින් සංකීර්ණත්වයක් පෙන්වුව ද ඒ හැම නිර්වචනයක් ම සලකා බැලීමේ දී උරුම සංකල්පය පහත සඳහන් ගති ලක්‍ෂණයන්ගෙන් සමන්විත වන බව පෙනේ.

👉උරුමය අතීත පරම්පරාවන්ගෙන් වර්තමානයට උරුමවන එසේ ම අනාගතයට දායාද කෙරෙන්නක් බැවින් එය ගතික සංකල්පයකි.

👉 උරුමය අතීත හා වර්තමාන සමාජයන් තේරුම් ගැනීමට ආධාරක වේ.

👉උරුමය භෞතික, ස්පර්ශනීය මෙන් ම අභෞතික හා අස්පර්ශනීය ද වේ.

👉උරුමය ප්‍රධාන වශයෙන් ස්වාභාවික හා සංස්කෘතික ලෙස දෙයාකාර වේ.

👉උරුමය ක්‍රියාවලියකි.

උරුමය හා බැඳුණු අනන්‍යතා මට්ටම් පිළිබඳ සලකා බැලීම වැදගත් වේ. උරුමය හා අනන්‍යතාව එකිනෙකට බද්ධ වූ සංකල්ප දෙකකි. උරුමයන් අවකාශීය අර්ථයෙන් ගත් කල භූගෝලීය සීමාවන්ට අනුව නිර්වචනය කළ හැකිය. 

උරුමයේ ක්ෂේත්‍රයන් (Fields of Heritage) වන ස්වභාව ධර්මය, භූ දර්ශන, ස්මාරක, ක්ෂේත්‍ර, පුරාවස්තු, ක්‍රියාකාරකම් සහ පුද්ගලයන් විවිධ අවස්ථාවල අන්‍යෝන්‍ය වශයෙන් ඒකාබද්ධ වීම මගින් විවිධ අනන්‍යතා මට්ටම් නියෝජනය කෙරේ. මේ බව පීටර් හොවාඞ්ගේ (Howard) උරුම ඝනක (Heritage cube) සංකල්පය තුළින් පැහැදිලි වේ. (2003,P.52) මින් පැහැදිලි වන යථාර්ථයක් නම් උරුමයන් බොහෝ විට එක් අනන්‍යතාවකට සීමා නොවන බවයි. ඒවා උරුම කරගන්නා වූ ගති ලක්‍ෂණ මත පුද්ගල, ප්‍රාදේශීය, ජාතික හා ජාත්‍යන්තර ආදී විවිධ අදියර තුළ නියෝජනය වේ. 

පුද්ගල උරුමය (Personal Heritage) ලෙස සලකනු ලබන්නේ සෑම පුද්ගලයෙකු ම සතු, ආරක්‍ෂා කිරීමට පෙළඹෙන එසේ ම සෙස්සන් සමඟ බෙදාහදාගැනීමට කැමති උරුමයන් ය. උදාහරණ ලෙස සිය පවුලේ අතීතය සිහිගන්වන සංකේත, සම්ප්‍රදායන් විය හැකි ය. (Leblanc, 1993, p.23) ශ්‍රී ලංකාවේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කොක්ගල කෞතුකාරය පෙන්වා දිය හැකි ය. ප්‍රාදේශීය උරුමය (Local Heritage) යන්නෙන් අදහස් වන්නේ රාජ්‍යයක් තුළ පිහිටි ප්‍රදේශයක සිට කිසියම් සංසිද්ධියකට සම්බන්ධ නිශ්චිත ස්ථානයක් දක්වා විහිද යන්නකි. ඍජුව හෝ වක්‍රව බොහෝ උරුමයන් නෛසර්ගික ලෙස කිසියම් විශේෂ භෞතික ස්ථානයක් හා සම්බන්ධ වේ. (Thunbidge & Ashworth,1996) ජාතික උරුමය (National& Heritage) යනු ජාතික රාජ්‍යයන් සිය ජාතික අනන්‍යතා තහවුරු කිරීමට යොදාගන්නා වූ උරුමයන් ය. ජාතික කෞතුකාගාර, ජාතික ලේඛනාගාර, ජාතික ස්මාරක, ජාතික වීරවරයන්, ජාතික උත්සව ආදිය නිදසුන් ය. දේශීය අනන්‍යතා ප්‍රකට කරන උරුමයන් ජාතික උරුම හා ලෝක උරුම සම්බන්ධයෙන් වැදගත් වේ. ජගත් තලයේ හා ජාතික තලයේ සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් සෙසු දේශයන්ගෙන් හා ප්‍රජාවන්ගෙන් විශේෂ වශයෙන් වියුක්ත කොට වෙනස් ලෙස හඳුනා ගැනීමට ඉවහල් වන බැවින් දේශීය ආයතන සහ ප්‍රජාව විසින් එකී උරුමයන් නඩත්තු කිරීමට හා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුචියක් දක්වනු ලැබේ. දේශීය විවිධතා සහිත උරුමය විටෙක දේශීය සම්පතක් මෙන් ම විටෙක ජාතික අභියෝගයකි. උරුම සංචාරක ව්‍යාපාරය උදෙසා විශේෂ වෙළඳපොළ නිර්මාණයට අවස්ථාවක් සැපයුවත් ශක්තිමත් ජාතික අනන්‍යතා වර්ධනය කිරීමට මෙම විවිධත්වය අභියෝගයකි. එය රටක භූගෝලීය හා දේශපාලනික විභජනයන්ට ද පාදක විය හැකි ය. (Wall, 2001) ස්වාභාවික හෝ සංස්කෘතික උරුමයකට මුදුන් පමුණුවා ගත හැකි උච්චත ම භූගෝලීය අනන්‍යතාව වන්නේ ගෝලීය, විශ්වීය, ලෝක නැතහොත් ජගත් උරුම අනන්‍යතාව බව පොදු පිළිගැනීමයි. මානව වර්ගයාගේ පොදු උරුමයක් සඳහා වූ විශ්වීය අයැදීම අන්තර් රාජ්‍ය සංවිධාන හරහා සිදු වූ අතර එහි දී යුනෙස්කෝ සංවිධානය විශේෂ වේ. මෙම ජගත් උරුම සංකල්පය සඳහා පසුබිම සැකසෙන්නේ පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව එනම් පශ්චාද් යුද සමයේ දී ය. 1960 දශකයේ පමණ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සංස්කෘතික උරුම ක්ෂේත්‍රවලට අහිතකර බලපෑම් එල්ල වන්නට විය. මෙම පසුබිම තුළ ජාත්‍යන්තර අවධානය ද ඒ කෙරෙහි යොමුවිය. මීට පෙර සංස්කෘතික උරුමයන් පිළිබඳ අවධානය හුදෙක් දේශීය හා ජාතික ස්වරූපයක් පෙන්නුම් කළ ද මේ වන විට එය ජාත්‍යන්තර අවධානයට ලක් වී ඒවා විනාශයෙන් මුදවා ගැනීමට හා ආරක්‍ෂා කිරීමට ව්‍යාපාරයක් යුනෙස්කෝ සංවිධානය විසින් ආරම්භ කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස දේවස්ථාන 14ක් හා පුරාවස්තු රැසක් ආරක්‍ෂා කර ගැනීමට මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීම සිදුවිය. (Smith, 2003) මේ හරහා සංස්කෘතික උරුමයේ ආරක්‍ෂාවට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හා සම්මුතියක් සකස් වීමට මඟ පාදන ලදි. මෙසේ ජාත්‍යන්තරකරණය වූ උරුම ව්‍යාපාරය ජගත් උරුම ප්‍රඥප්තිය සකස් වීමට හේතුවක් විය.

උරුම කළමනාකරණය හා සංචාරක ව්‍යාපාරය අවියෝජනීය ලෙස අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වූ සංකල්ප ද්විත්වයකි. සංචාරක කර්මාන්තය ස්වාභාවික හා නිර්මිත පරිසරාත්මක කරුණු මත රඳා පවතින්නකි. සංස්කෘතික හා උරුම සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පරමාදර්ශී ලෙස ක්‍රියාත්මක විය යුත්තේ අද්විතීය උරුම සම්පත් සංරක්‍ෂණයට ප්‍රමුඛත්වය ලබාදෙන උරුම කළමනාකරණ සන්දර්භයක් තුළ ය. මෙහි ස්වභාවය පෘතුල සංකල්පයකි. 


උරුමයේ දෘශ්‍යමය සහ වැදගත් ආර්ථික භාවිතාව සංචාරක ව්‍යාපාරය වන බැවින් සංචාරක ව්‍යාපාරය පුළුල් ලෙස විෂයානුබද්ධ නිර්වචනය කිරීම වැදගත් ය. සංචාරක ව්‍යාපාරයට විශ්වීය භාවිතාවක් හා පිළිගැනීමක් සහිත නිර්වචනයක් නොමැති මුත්, විවිධ නිර්ණායකයන් මත පදනම්ව විවිධ අවධාරණයන් සහිතව සංචාරක කර්මාන්තය නිර්වචනය කළ හැකි ය. සාම්ප්‍රදායිකව සංචාරක ව්‍යාපාරය නිර්වචනය කරන්නේ “මිනිසුන් සිය සුපුරුදු වාසස්ථානයෙන් හෝ සේවා ස්ථානයෙන් බැහැරව ගමනාන්තයක්/ක්ෂේත්‍රයක් කරා සංචාරය කිරීම හා මෙම සංචාරය පිණිස ඇතිවන අවශ්‍යතා හා පහසුකම් සම්පාදනය කිරීම” යනුවෙනි. (Mathieson, 1982) මෙම නිර්වචනය තවදුරටත් වර්ධනය කරන යුරෝපානු කොමිසම (European Commission, 2002) වඩා නිශ්චිතව ප්‍රකාශ කරන්නේ මිනිසුන් සිය සුපුරුදු පරිසරයෙන් බැහැරව විනෝදය, ව්‍යාපාර සහ වෙනත් පරමාර්ථ සඳහා එක දිගට වසරකට නොවැඩි කලක් කටයුතුවල යෙදීම ලෙස ය. 

සංස්කෘතික සංචාරක ව්‍යාපාරය (Cultural  Tourism) යන්නට ද විශ්වීය වශයෙන් බලගතු නිර්වචනයක් සැපයීම අසීරුය. (Smith, 2003, p.29) උරුම සංචාරක ව්‍යාපාරය (Heritage Tourism) කලා සංචාරක ව්‍යාපාරය (Art Tourism) ස්වදේශීය සංචාරක ව්‍යාපාරය  (Indigenous Tourism) ආදී සියලු ක්ෂේත්‍ර සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළින් ආවරණය වේ. රිචර්ඞ් යෝජනා කරන පරිදි සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළින් අතීත සංස්කෘතික නිර්මාණ අත්විඳීම පමණක් නොව යම් ජන කණ්ඩායමක හෝ ප්‍රදේශයක සමකාලීන සංස්කෘතිය හෝ ජීවන රටාව අත්විඳීම ද වේ. එබැවින් සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළට අතීත පුරාකෘති සම්බන්ධ උරුම සංචාරක ව්‍යාපාරය සහ සමකාලීන සංස්කෘතික නිර්මාණයන් සම්බන්ධ කලා සංචාරක ව්‍යාපාරය ද ඇතුළත් වේ. (Richard, 2001)

උක්ත නිර්වචනයට අනුව යම්කිසි ස්ථානයක ප්‍රජාවකගේ අතීත සහ වර්තමාන උරුමය සංස්කෘතික සංචාරක ව්‍යාපාරය තුළින් ආවරණය වේ. (Zeppel & Hall, 1992, p.47) උරුම සංචාරක ව්‍යාපාරය සහ කලා සංචාරක ව්‍යාපාරය සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ අනුශාඛා ලෙස සලකයි. මෙහි සඳහන් උරුමය සහ කලා අංග අවියෝජනීය ලෙස එකිනෙකට බද්ධ වූ සංකල්ප වන හෙයින් ඒ දෙකෙහි වෙනස හඳුනා ගැනීම තරමක් අසීරු ය.

උරුම සංචාරක ව්‍යාපාරය යනු හුදෙක් අප උරුම කරගත් දෑ එනම් ඓතිහාසික වැදගත්කමක් සහිත ගොඩනැඟීලි, කලා කෘති, විසිතුරු භූමි දර්ශන ආදී දෑ පදනම් කරගත්තකි(Yale,1991) ලෝක සංචාරක සංවිධානයට (WTO) අනුව කිසියම් රටක, ප්‍රදේශයක හෝ ස්ථානයක ඉතිහාසය, මානව උරුමය, කලාව, දර්ශනය සහ ආයතන පිළිබඳ වූවකි. මෙම නිර්වචනය සාපේක්‍ෂව අසම්පූර්ණ ය.

උරුම සංචාරක ව්‍යාපාරය සංකල්පගත කරන Poria සහ Airey එය සංචාරක ව්‍යාපාරයේ ශාඛාවක් ලෙස සඳහන් කරමින් කිසියම් ස්ථානයක් බද්ධ වූ සිය උරුමය සංචාරකයාගේ දෘෂ්ටි කෝණය පදනම් කර ගනිමින් නැරඹීම බව පවසයි. (2001,p.1047) එක් අතකින් මෙම අර්ථ දැක්වීම සංචාරක ව්‍යාපාරයේ පරමාර්ථ සඳහා උරුමය අර්ථකථනයේ දී වැදගත් වන නමුත් එම නිර්වචනය ද සංචාරක ඉල්ලුම් පාර්ශ්වය නියෝජනය කරන්නක් පමණක් වන බැවින් එමගින් සංචාරක ව්‍යාපාරයේ දී උරුම සංචාරක අත්දැකීම සපයන අංශයේ දෘෂ්ටි කෝණය නොසලකා හැරීම නිසා Garrod සහ Fyall ගේ විවේචනයට ලක් වී ඇත. (2001,p.1049) උක්ත විවේචකයින් දෙදෙනාගේ විවේචනය ඉතා වැදගත් වන්නේ ක්ෂේත්‍රයක උරුමය අර්ථකථනය හුදෙක් ජනප්‍රිය සංචාරක ඉල්ලීම මත නොව උරුම සම්පත් පදනම්ව සිදුවිය යුතු බව අවධාරණය කරන බැවිනි. Silberberg ගේ මතය වන්නේ ක්ෂේත්‍රයේ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින් කිසියම් ජන කණ්ඩායමක, ප්‍රදේශයක හෝ ආයතනයක ඓතිහාසික, කලාත්මක, විද්‍යාත්මක උරුමයන් කෙරෙහි රුචිකත්වයෙන් පෙලඹී නැරඹීමට පැමිණීමයි. (1995,p.361)

Laws සහ Pan දෙදෙනා තර්ක කරන්නේ උරුමය ද්විත්ව කාර්යයක් ඉටු කළ යුතු බවයි. එනම් ක්ෂේත්‍රයන්ට සංචාරකයන් ආකර්ෂණය කරගන්නා අතරතුර තත් ප්‍රාදේශීය ප්‍රජාවගේ සමාජ සංස්කෘතික අභිප්‍රායන් ද ඉටු කළ යුතු බව ය. (2004,p.267) මෙහි සංක්‍ෂිප්ත අර්ථය නම් උරුම සංචාරක ව්‍යාපාරය සත්කාරක ප්‍රජාව සඳහා ආර්ථික ප්‍රතිලාභ උදා කළ යුතු අතර, ඔවුනට ඔවුන්ගේ උරුමය සහ ගතික සම්ප්‍රදායයන් සංරක්‍ෂණයට සහ උරුම කළමනාකරණයට උත්තේජනයක් ද ලබා දිය යුතු බවයි. සංචාරක ව්‍යාපාරයේ ප්‍රාදේශීය ප්‍රජා බලපෑම් කෙරෙහි අවධානය යොමු කරන Jafari ද සංචාරක ව්‍යාපාරය තුළින් ප්‍රජා යහසාධනය සිදු විය යුතු බව අවධාරණය කරයි. (1997,p.6)

මේ අනුව උරුම සංචාරක ව්‍යාපාරය උරුම සම්පත් සංරක්‍ෂණයට මෙන් ම ප්‍රජා යහසාධනයට දායක වන ව්‍යාපාරයක් විය යුතු අතර තිරසාර උරුම කළමනාකරණය තුළින් ද අපේක්‍ෂා කරනුයේ උක්ත සංයෝගී සබඳතාවයි. සංස්කෘතික හා උරුම සංචාරක ව්‍යාපාරය පිළිබඳ උක්ත සංකල්පමය ප්‍රවේශය සාරාංශගත කිරීමේ දී එහි ප්‍රධාන ලක්‍ෂණ කීපයක් අවධාරණය කිරීම වැදගත් වේ.

  ➤ ස්වාභාවික හා සංස්කෘතික සම්පත් පදනම් වී පවතී.

  ➤ කිසියම් අද්විතීය ක්ෂේත්‍රයක ස්වාභාවික හෝ ඓතිහාසික ආකර්ෂණීය ගුණාංග පදනම් කොට සංචාරක අත්දැකීමක් සපයයි.

 ➤ උරුම සම්පත් සංරක්‍ෂණයට දායක වෙමින් සංචාරකයින්, නරඹන්නන්, උරුම සංරක්‍ෂකයින්, කළමනාකරුවන්, ප්‍රාදේශීය ප්‍රජාව සඳහා උරුම සංරක්‍ෂණය පිළිබඳව අවබෝධය වර්ධනය කිරීමට අධ්‍යාපනමය කාර්යයක් ඉටු කරයි.

 ➤ ප්‍රාදේශීය ප්‍රජාවට ආර්ථික ප්‍රතිලාභ ජනිත කරමින් ඔවුනට ඔවුන්ගේ සම්ප්‍රදායන්, සංස්කෘතික අනන්‍යතාවන් පවත්වාගෙන යාමට උපකාරී වේ. 

උරුම සංචාරක ව්‍යාපාරය පසුගිය දශක කීපය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ලෝක සංචාරක සංවිධානයේ අනාවැකිවලට අනුව 2020 වන විට ලෝකයේ දෙවන ඉතාමත් වැදගත් ගමනාන්තයක් බවට ආසියා පැසිපික් කලාපය පත් වේ. මෙම කලාපයේ උරුම සංචාරක ව්‍යාපාරය දියුණු වන රටවලට ආවේණික වූ ගැටලුවලින් සමන්විත ය. උක්ත සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට ද වැදගත් තැනක් හිමි වේ. සංචාරක ව්‍යාපාරයේ අන් සියලු ම ක්ෂේත්‍රයන්ට වඩා උරුම සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක් වන අතර විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත්කම දුරලීම හා ආර්ථික සංවර්ධනය උදෙසා උරුම සම්පත් සංරක්‍ෂණය විභවතාවක් සහිත යාන්ත්‍රණයකි. (UNWTO,2005)

පසුගිය දශක දෙක තුළ උරුම සංචාරක ක්ෂේත්‍රයේ සිදුකරන ලද අධ්‍යයන පර්යේෂණවල පොදු පිළිගැනීමක් වන්නේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක ව්‍යාපාරය හා එහි බලපෑම් මෙන් ම ගැටලු කළමනාකරණ ක්‍රමවේදයන් ද එකිනෙකට වෙනස් බව ය. උක්ත වෙනස්කම් මූලික වශයෙන් ආර්ථික, දේශපාලන, ප්‍රායෝගික සංරක්‍ෂණ ක්‍රියාකාරකම්, නෛතික පැනවීම්, නාගරීකරණය, යටත් විජිතකරණය ආදී කරුණු මත ලෝකයේ සංවර්ධනය වන කලාපය සැලකීමේ දී උරුම සංචාරක ව්‍යාපාරය සම්බන්ධ ප්‍රශස්ත මට්ටමේ පර්යේෂණවල ඌනතාවක් ද පවතින බැවින් එම කලාපයේ අද්විතීය උරුම ක්ෂේත්‍රවල සංරක්‍ෂණය, සංවර්ධනය සහ දිගු කාලීන තිරසාරභාවය වෙනුවෙන් මෙකී දැනුම අත්‍යවශ්‍ය වේ. (Timothy & Nayaupane,2009,p.20)

පසුගිය දශක එකහමාරක කාලය (1990-2005) සැලකීමේ දී දියුණු රටවල්වල සහ දියුණුවන රටවලට කරන ලද සංචාරණයේ වර්ධනය වාර්ෂිකව 6.5% වේගයෙන් වර්ධනය වන විට එය සංවර්ධිත රටවල 3% ටත් අඩු ය. මෙම සංවර්ධනයට හේතු වූ කරුණු රැසකි. සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරණය සඳහා ඇති වූ සුබවාදී වාතාවරණය, අන්තර්ජාතික සබඳතා වර්ධනය වීම, සංචාරක ක්ෂේත්‍රයට ලබා දුන් ප්‍රමුඛතාව ආදිය ඒ අතර වේ. මෙකී වර්ධනයට ඍජු හේතුවක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයේ දී සංස්කෘතික උරුම සම්පත් සඳහා වූ ඉල්ලුමයි. දළ වශයෙන් යුනෙස්කෝ ජගත් උරුම ක්ෂේත්‍රයන්ගෙන් 60%ක් ස්ථානගත වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ය. එම පූජනීය උරුම ක්ෂේත්‍ර හා බද්ධ වූ ආගමික සංචාරක ව්‍යාපාරය නැතහොත් වන්දනා ගමන් (Pilgrimage මෙම රටවල අතිශයින් ප්‍රචලිත ය. මෙම ආධ්‍යාත්මික වන්දනා සංචාරය බහුවිධ පරමාර්ථ සහිතව එනම්, කුසල් රැස් කිරීම, දෙවියන්ට සමීප වීම, පව් සමා කරගැනීම, ස්ථානයන්හි අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම පදනම්ව සිදු කෙරේ. (Gonzalez & Medina,2003,p.446) මෙබඳු සංචරණයන් දකුණු ආසියානු, මැද පෙරදිග සහ අග්නිදිග ආසියානු රටවල ප්‍රධාන ආගම්වන බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම් මගින් දිරි ගන්වනු ලැබේ. මෙකී සංචාරණය තුළ නැරඹීමට බඳුන්වන ස්ථාන උරුමස්ථානයන් ය. එසේ ම සිදුකරනු ලබන බහුවිධ ආගමික ක්‍රියාකාරකම් ද අස්පර්ශනීය උරුමයේ නියෝජනයන් ය. ජීවමාන සංස්කෘතික සම්පත් ද මෙම කලාපයේ දියුණු වෙමින් පවතින රටවල විශේෂ සංස්කෘතික ආකර්ෂණයන් ය. කෘෂි භූ දර්ශන, කෘෂිකාර්මික ජීවන රටාව, අත්කම්, සුළු කලා ශිල්ප, පැරණි ගම්, භාෂාවන්, සංගීත සම්ප්‍රදායන්, ආගමික අභිචාර හා සංස්කෘතික උත්සව ද ඒ අතර වේ. (Cohen,2001,p.378)

ඓතිහාසික නගර සහ නිර්මිත උරුමය ද සංවර්ධනය වෙමින් පවත්නා රටවල වැදගත් උරුම සංචාරක සම්පත් වී ඇත. කාර්මීකරණයට බඳුන් නොවූ ආසියානු, අප්‍රිකානු, මැද පෙරදිග, ලතින් ඇමරිකානු කලාපවල දේශීය සහ යටත් විජිතකරණයේ බලපෑමට ලක් වූ බොහෝමයක් නගර ලෝක ප්‍රකට ගමනාන්තයන් වී ඇත. ශ්‍රී ලංකාවේ කොළඹ, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සහ මහනුවර එබඳු නගර කිහිපයකි.

මෙම රටවල උරුමය සහ සංචාරක ව්‍යාපාරය ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෑත කාලීනව වැදගත් ප්‍රවණතා රැසක් ජනිත වී ඇත. ඒ අතර උරුම සංචාරක ව්‍යාපාරය තුළින් දුප්පත්කම පිටු දැකීමේ ප්‍රවණතාවක් උදා වී ඇත. සාම්ප්‍රදායිකව දුගී පුරවැසියන් සැලසුම්කරණයෙන්, ප්‍රතිපත්ති සම්පාදනයෙන් සහ සංවර්ධන ක්‍රියාවලියෙන් වියුක්ත කර තැබුවත් මෑත කාලීනව ඔවුන්ගේ සහභාගීත්වය තුළින් සංයුක්ත සංචාරක සංවර්ධන වැඩසටහන් හරහා ප්‍රජා ශුභසිද්ධිය ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග කෙරෙහි යොමු වනු දැකගත හැකි ය.

එසේම දියුණු වෙමින් පවතින රටවල් හැකිතාක් උරුම ක්ෂේත්‍ර ජගත් උරුම ලේඛනයට ඇතුළත් කිරීම තුළින් ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ ප්‍රවණතාවක් ද උදා වී ඇත. මෙම ජගත් උරුම ලේබලය හරහා තත් රාජ්‍යවල උරුම ක්ෂේත්‍ර සංරක්‍ෂණය සහ කළමනාකරණය සඳහා මූල්‍යමය හා තාක්‍ෂණික ජාත්‍යන්තර සහාය ලබාගැනීමට මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට ද අවස්ථාව සැලසී ඇත. (Timothey & Boyd,2001,p.1)

දියුණු වෙමින් පවතින රටවල ලෝක උරුම සංකල්පයේ සහ උරුම සංචාරක ව්‍යාපාරයේ මැදිහත්වීම හේතුවෙන් සංස්කෘතික උරුම සම්පත්වල සංරක්‍ෂණය සහ තත් ප්‍රාදේශීය ප්‍රජාවගේ ජීවන මට්ටමේ ගුණාත්මකභාවය සම්බන්ධ දෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බලන විට ධනාත්මක මෙන් ම ඍණාත්මක ලෙස ද බලපෑම් එල්ල කර ඇති බව පෙනෙනමුත් මෙතුළින් තත් ප්‍රජාව හා ප්‍රදේශය වෙත විශේෂ වරප්‍රසාද රාශියක් ලැබුණ බව පැහැදිලි ය.

විමර්ශිත කෘති හා සගරා

ගුණවර්ධන ප්‍රිශාන්ත (2005) පුරාවිද්‍යා උරුමය - ආකෘති සංකල්පය, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජාඇල.

තුසිත මැන්දිස්, ඩි, ගුණරත්න ශ්‍යාමලී, ආර් (2016) උරුම කළමණාකරන ප්‍රවේශය, නෙත්වින් ප්‍රින්ටර්ස්, මහනුවර.

පතිරණ, යූ.පී.එස් (2014) සංචාරක ව්‍යාපාරය, සංචරණ සැළසුම්කරණය හා සංවර්ධනය, සරස්වතී ප්‍රකාශන, රවුම්පාර, දිවුලපිටිය.

ප්‍රියංගා, ඩි.එම්.එස්.ආර් (2008) පුරාවිද්‍යාත්මක උරුමය උරුමය හා සංවර්ධනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

A. Mathieson, & Wall, G. (1982) Tourism economic, physical and social impacts, London, Longman.

B. Feilden and Jokilehto, J. (1998) Management Guidelines for World Cultural Heritage Stes, Rome, ICROM.

B. Garrod, and Fyall, A. (2001) Heritage tourism: A question of definition, Annals of tourism research.

D.J. Timothy, and Boyd, S. W. (2006) Heritage tourism in the 21st century, valued traditions and new perspectives, Journal of Heritage Tourism.

E. Laws, and Pan, G. W. (2004) Heritage sites as tourism assets for Asian Pacific Destinations: insights from ancient Europe Tourism, Asia Pacific Journal of Tourism Research, Vol.9.

F. LeBlanc, (1993), Is Everything Heritage?,  ICOMOS Canada Bulletin.

G. Wall, (2001) Southeast Asian tourism connections status, challenges and opportunities, Teo, T. C. Chang, and K. C. Ho (eds.), Interconnected worlds: Tourism in Southeast Asia, Oxford, Elsevier Science Ltd.

Herbert, D. T. (1995) Heritage places, leisure and tourism, Herbert, D.T. (ed.), Heritage, Tourism and Society, London, Mansell Publishing Limited.

H. Zeppel, and Hall, C. M. (1992) Arts and heritage tourism’. Hall, C. M. and B. Eiler. (eds.), Special Interest Tourism, London, Belhaven Press.

J.E.Tunbridge, and Ashworth, G. J. (1996) Dissonant Heritage: the management of the past as a resource in conflict, Chichester.

J. Jafari, (1997) Editor‘s page, Annals of Tourism Research.

J.H. Cohen, J.H. (2001), ‘Textile, tourism development and community development’, Annals of Tourism Research.

K. Barber, (1998) (ed.), The Canadian Oxford Dictionary, Oxford University Press.

Little Oxford English Dictionary

M.K. Smith, (2003) Issues in cultural tourism studies, London, Routledge.

M.K. Smith,  (2003) Issues in cultural tourism studies, London.

P. Howard, (2003) Heritage: Management, Interpretation, Identity, London, Continuum.

P. Yale, (1991) From tourist attractions to heritage tourism, Huntington, ELM.

R. Gonzalez, and Medina, J. (2003) Cultural tourism and urban management in northern Spain: the pilgrimage to Santiago de Compostela, Tourism Geographies.

Silberberg, T. (1995) Cultural tourism and business opportunities for museums and heritage places, Tourism management.

Timothy, D. J. and Nayaupane, G. P. ‘Protecting the Past: Challenges and Opportunities’, Cultural Heritage and Tourism in the Developing World: a Regional Perspective, 2009, (ed.), D. J. Timothy and Nayaupane, New York.

UNESCO, (2003) The Convention for the Safeguarding of the Intangible Cultural Heritage, Paris, France, UNESCO.

UNWTO, (2005) Cultural tourism and poverty alleviation: The Asia-Pacific perspective., Madrid, World Tourism Organization.

Y. Poria, Butler, R. W. and Airey, D. (2001) Clarifying heritage tourism’, Annals of Tourism Research.

ශබ්ද කෝෂ

ආචාර්ය විජයතුංග, හරිස්චන්ද්‍ර (2008) මහා සිංහල ශබ්ද කෝෂය, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11.

එඞ්මන්, කේ.බී.ඒ (2007) මහා සිංහල සාහිත්‍ය ශබ්ද කෝෂය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

මළලසේකර,ජි.පි, (2007) ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11.

විජයතුංග, හරිස්චන්ද්‍ර (2009) නූතන සිංහල පාරිභාෂික ශබ්ද කෝෂය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

ශ්‍රී සෝරත හිමි, වැලිවිටියේ (1999) ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.


Comments

Popular posts from this blog

නිධාන සංකල්පය මුවාවෙන් විනාශවන ශ්‍රී ලංකාවේ කඩඉම් සංකේත පිළිබඳ අධ්‍යයනයක්

මනෝ චිකිත්සාව හා කායික දුක් දුරලීම සඳහා බෞද්ධ භාවනාව කෙරෙහි ඇති නූතන ප්‍රවනතාවය කෙතෙක් දුරට සාර්ථකද? (සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් විමසුමක්)

වැවක මූලිකාංග හඳුනාගනිමු