ශ්‍රී ලංකාවේ මැටි බඳුන් ඉතිහාසය හා වර්ගිකරණය පිළිබඳ අධ්‍යයනයක්
ගෞරව ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා)
භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුර
සරළ ජීවනෝපාය මාර්ග ඔස්සේ සිය දෛනික අවශ්‍යතා සපුරා ගනිමින් තැනින් තැන වාසය කළ අතීත මානවයා කල් යාමේ දී කණ්ඩායම් වශයෙන් එකට ඒකාබද්ධව විසීමත්, කාලීන අවශ්‍යතා වැඩිවීමත්, පෙරට වඩා බුද්ධි මට්ටමින් ඉහළ යාමත් හේතු කොට ගෙන විවිධ මෙවලම් තැනීමට පෙළඹුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස මැටි බඳුන් නිර්මාණය වී ඇත. මුල් කාලයේ දී ආහාර රැස් කිරීම හා ගබඩා කිරීම සඳහා මැටි බඳුන් යොදාගත් අතර, පසු කාලයේදී සිය අවශ්‍යතා බහුල වීම නිසා ආහාර පිසීම, ආහාර සංරක්ෂණය, ගෘහ අලංකරණය, සනීපාරක්ෂක කටයුතු වැනි මූලික කරුණු පදනම් කර ගනිමින් මැටි මෙවලම් නිර්මාණය විය. මැටි බඳුන් පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයේදී කැණීම් මගින් හමුවන සාධක මගින් ඒ ඒ රටවල් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකි ය. එහිදී,
1. කාලීන මානව අවශ්‍යතා
2. ආගමික තොරතුරු
3. තාක්ෂණය
4. ජනාවාස ව්‍යාප්තිය
5. ආහාර රටාව
6. විවිධ සමාජ ස්ථරායනයන්
7. එකිනෙකට වෙනස් වූ විවිධ සංස්කෘතින් අතර පැවති සබඳතා
යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ හැකි ය. මැටි බඳුන් නිර්මාණකරණය හා භාවිතයේ ඉතිහාසය පිළිබද මුල්ම සාධකය ලෙස අලියෙකු මැටි පොළොවක තැබූ පා සටගනක් දුටු මිනිසෙකු එය සියුම් ලෙස පොලොවන් වෙන් කරගත්තා යැයි ජනප්‍රවාදයේ එයි. යුරෝපානු කලාපයේ මෙන්ම ආසියාතික කලාපයේ ද දක්නට ලැබෙන සාධක අනුව මෙසේ ව්‍යාප්ත වූ මැටි බඳුන් ඉන්දියාව හරහා ශ්‍රී ලංකාව දෙසට ද ව්‍යාප්ත වන්නට ඇති බව අනුමාන කළ හැකි ය. ලෝක ඉතිහාසයේ මැටි කර්මාන්තය ආරම්භ වූ නව ශිලා යුගයේ ම ලක්දිව මැටි කර්මාන්තය ආරම්භ වි ඇති බව විද්වතුන්ගේ මතය වුවත් මෙරට ස්ථාන කිහිපයක සිදුකර ඇති පර්යේෂණ මගින් එකී අදහස සත්‍යය නොවන බව පැහැදිලි වේ. ඒ අනුව ලක්දිව මැටි කර්මාන්තය ආරම්භය පිළිබද සාධක නිශ්චිත නොවුන ද, දකුණු ඉන්දියානු කාල රක්ත වර්ණ මැටි බඳුන් හා සම කාලීන ප්‍රභවය වු බව පූර්ව පර්යේෂණ සාධක අනුව උපකල්පනය කිරීම නිවැරදි ය. (Senavirathna 1984:285,286) ලක්දිව මැටි බඳුන් භාවිතයේ ආරම්භක අවධිය පිළිබදව විමසා බැලීමේ දී අනුරාධපුර ඇතුළු නුවර ගෙඩිගේ කැනීම වැදගත් ය. මෙම කැනීමෙන් ශිලා යුගයේ සිට ඓතිහාසික යුගය තෙක් අනාවරණය නොවී පැවති සාධක බොහෝමයක් සොයාගැනීමට අවස්ථාවක් ලැබුණි. මෙහි ස්තර වින්‍යාසය අධ්‍යයනය කිරීමේ දී පළමු ස්තරය මධ්‍යශිලා යුගය නියෝජනය කරන අතර දෙ වැනි ස්තරය ශූන්‍ය ස්ථරයක් බව හදුනාගෙන ඇත. තෙ වැනි ස්තරය කොටස් දෙකක් යටතේ වර්ග කර ඇති අතර 3් ස්ථරයෙන් ලක්දිව මූල ඓතිහාසික යුගයට අයත් මැටි මෙවලම් පිලිබඳ ව සාධක ලැබේ. ඒවායේ මෙගලතික සංස්කෘතියට අයත් පුරාවිද්‍යාත්මක ශේෂයන් අතර කාලරක්ත වර්ණ මැටි බඳුන් හා සම්බන්ධකාරයක් දක්වනු ලැබේ. මෙම මෙගලතික සංස්කෘතියට අයත් මැටි බඳුන් අවශේෂයන් හි මුල් චිත්‍රාක්‍ෂර සටහන් කර ඇත. ඒවායෙන් පෞද්ගලික නාම පිළිබදව යම් අදහසක් ලබාදෙන බව විද්වත් මතයයි. (Deraniyagala 1972:106-122) මෙම කැනීමේ දී හමු වූ මැටි භාණ්ඩ සිරාන් දැරණියගල මහතා විසින් වර්ගීකරණයකට ද ලක් කර ඇත.
ලක්දිව ප්‍රාග් ඓතිහාසික කැණිම් සිදුකළ ඩබ්.එච්. විජේපාල විසින් 1991 දී සිදුකරන ලද දොරවකකන්ද කැනීමත්, 1992 වර්ෂයේ ටී. ආර්. ප්‍රේමතිලක මූලිකත්වයෙන් කරන ලද හෝර්ටන්තැන්න කැනීම තුළින්ද ලක්දිව මැටි බඳුන් පිලිබද තවත් මතයක් ඉදිරිපත් කොට ඇත. දොරවක්කන්ද කැනීම මගින් වගා කරන ලද ධාන්‍ය වර්ග ලෙස සැලකිය හැකි අවශේෂ සමග මැටි බඳුන් සොයාගෙන ඇත. එම බඳුන් ක්‍රි.පූ. 5,250 ට පෙර භාවිත කළ ඒවා බව සැලකෙයි. (දැරණියගල 1991.10) මැටිබඳුන් පිළිබද වැදගත් සාධක ලැබෙන කැනීමක් ලෙස බලංගොඩ දියවින්න ප්‍රදේශයේ උඩුපියන් ගල්ලෙන හදුනාගත හැකි ය. අවධි දෙකකට අයත් ස්තර සහිත මෙහි පළමු අවධියේ අතින් නිර්මාණය කර අව්වේ වියලාගත් මැටි බඳුන් හමුවන අතර දෙ වැනි අවධියේ සකපෝරුවේ නිර්මාණය කරන ලද වර්ණාලේපිත මැටි බදුන් හමු වේ. රතු සහ කළු වර්ණවලින් බඳුනේ පිටත වර්ණාලේප කර ඇති අතර පැදුරු හෝ වේවැල් භාජනයක මෝස්තර ආකාරයෙන් මුද්‍රා දක්වා ඇත. (Deraniyagala 1957: 1-24) ඊට අමතරව කොල්ලන්කනත්ත ප්‍රදේශයේ සිදුකර ඇති පුරාවිද්‍යා ගවේශනයක දී මුට්ටියක හෝ කළයකට අයත් මධ්‍ය වයනයක් සමග සුදු නිර්මිතයක් ඇති ගැටි කැබැල්ලක් සොයාගෙන ඇත. මෙය ලක්දිව වර්ණාලේපිත මැටි බඳුන් අධ්‍යනයේ දී වැදගත් සොයාගැනීමක් බව සඳහන් කළ හැකි ය.(Deraniyagala 1972:118)
මැටි බඳුන් භාවිතයේ පූර්ව ඓතිහාසික යුගය නියෝජනය කරන තවත් සමීක්‍ෂණයක් ලෙස උඩවලව ප්‍රදේශය ආශ්‍රිතව සිදුකර ඇති කැනීම් සඳහන් කළ හැකි ය. උඩවලව නිම්නයේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය පිලිබද සමීක්‍ෂණය ලෙස හදුන්වා ඇති මෙම පර්යේෂණ ව්‍යාපෘතිය 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. මෙහි දි පූර්ව ඓතිහාසික යුගයට අයත් මැටි බඳුන් හමු වූ ස්ථාන අතර පල්ලෙබැද්ද ගල්පාය, රංචාමඩම, ගල්පාය තෙලඹුගහ ආදී ස්ථාන වැදගත් වේ. මෙහි දි ලක්දිව මැටිබඳුන් ඉතිහාසයේ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරනු ලබන සමීක්‍ෂණයක් ලෙස ගල්පාය ගවේෂණය හදුනාගත හැකි ය. එමගින් ලක්දිව මැටිබඳුන් භාවිතය පූර්ව ඓතිහාසික යුගය නියෝජනය කරන බව සනාථ කරන අතර රංචාමඩම සහ උඩරංචාමඩම කදු වැටියෙන් සොයාගත් මැටි බඳුන් මගින්ද උක්ත අදහසට ප්‍රමාණවත් සාධක සොයාගෙන ඇත. රංචාමඩම සුසාන භූමියෙන් සොයාගත් මැටි බඳුන් පොදුවේ ක්‍රීස්තු පූර්ව 2 වැනි සියවස තරම් පැරණි බව කිය වේ. ඒ අනුව පැහැදිලි වශයෙන් ම ලක්දිව මධ්‍ය ශිලා යුගය වනවිට දියුණු මැටි බඳුන් නිපදවීමේ සංස්කෘතියක් පැවති බව සනාත වේ. (Somadeva 2010: 203) ඒ හා සමාන මැටි බඳුන් භාවිතය පිළිබද සාධක ලැබෙන ස්ථාන ලෙස සීගිරියට යාබද පොතාන සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි වාරණ ගුහාව පෙන්වාදිය හැකිය. 2005-2006 වර්ෂවල ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇති අතර පශ්චාත් මධ්‍ය ශිලා යුගය යනුවෙන් නම් කල නව සංස්ස්කෘතික අවධියක පැවැත්ම හෙලිවන බව කිය වේ. (Adikari and Thantilge 2007: 27)
ලක්දිව මැටි බඳුන් පරිහරණයේ සංවර්ධනීය අවස්ථාව නියෝජනය කරන මෙගලතික සංස්කෘතියට අදාල සාධක දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් සොයාගෙන ඇත. එහි දී ඉබ්බන්කටුව, පොන්පරිප්පුව, පිංවැව, මාන්තායි, කන්තරෝfඬ්, මාන්තායි, හොරොව්පොතාන හා හල්දුම්මුල්ල ආදී ස්ථාන වැදගත් වේ. විශේෂයෙන්ම පොන්පරිප්පුව, ඉබ්බන්කටුව, කරෙයිනගර් ආදී මෙගලිතික සුසානවලින් කළු රතු මැටි බදුන් හා අක්‍ෂර සහිත හෝ සංකේත සහිත මැටි බඳුන් හමු වී ඇත. (Senevirathna, 1984 :145) ඊට අමතරව කිරිදි ඔය ආශ්‍රිතව ද පුරාවිද්‍යාත්මක මැටි බඳුන් සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් සිදුකොට ඇත. (Bandara, 2005) යුරෝපය මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික කලාපයේ මැටිබඳුන් භාවිතය සහ පුරාවිද්‍යාත්මක උපයෝගීතාව පිලිබඳ අධ්‍යයනයන් සිදුකොට ඇත. (දිසානායක 2005:127-132) ලක්දිව මැටිබඳුන් පිළිබද පුරාවිද්‍යාත්මක සාධක විමසීමේ දී තිස්ස වැව ආශ්‍රයෙන් කර ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ වැදගත් වේ. මෙම පර්යේෂණවල දී කුඹල් ගමක් පිලිබද තොරතුරු ලැබෙන අතර ක්‍රිස්තු පූර්ව යුගයට අයත් මැටි බඳුන් අවශේෂ බොහෝමයක් සොයාගෙන ඇත. මෙම බඳුන් අතර මැටි පිගන් දෙකක පිට පැත්තේ අක්‍ෂර සදහන් කර ඇති අතර ඒවා යම් කිසි පූජා කටයුත්තක් සඳහා යොදාගත් ඒවා බව සනාථ වේ. ඊට අමතරව වලං කැබලි අධ්‍යයනයන් මගින් මුල් යුගයේ සිට ම ලක්දිව සකපෝරුව භාවිත කරන්නට ඇතිබව හදුනාගෙන ඇත. (Prematilaka, 1982:44)
අනුරාධපුර යුගයේ මැද භාගය වනවිට තාක්‍ෂණය සහ නව දෛනික අවශ්‍යතා මත පදනම්ව මැටිබඳුන් නිර්මාණකරයේ සහ භාවිතයේ සංකීර්ණ සංවර්ධනයක් ඇති වු බව පැහැදිලි වේ. විශේෂයෙන් මහාවිහාරය, අභයගිරිය, ඡේතවනය ආදී ආරාම සංකීර්ණවලින් මෙන්ම තිස්සමහාරාම, සීගිරිය ආදී ප්‍රදේශ වලින් හමුවන මැටිබඳුන් ප්‍රමාණවත් තොරතුරු සපයා ඇත. සීගිරිය ප්‍රදේශයේ සිදු කර ඇති පර්යේෂණ මගින් ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසට අයත් පාත්‍ර, දුන්කබල්, මැටිපහන්, මල් බදුන් ආදී විශේෂ මැටිබඳුන් අවශේෂ සොයාගෙන ඇත. (Bandaranayaka, 1982:13) සමස්තයක් ලෙස සීගිරිය ප්‍රදේශයෙන් හමුවන මැටිබඳුන් විශ්ලේෂණය කිරීමේ දී ඒවා පූර්ව ඓතිහාසික යුගයේ සිට පශ්චාත් අනුරාධපුරය දක්වා නියෝජනය කරන බව පෙන්වා දී ඇත. (සුවිනීතා, 2003:186) සීගිරිය ආශ්‍රිත මාපාගල හා අලිගල කැනීම්වලින් සොයාගත් කාළ රක්ත වර්ණ මැටි බඳුන් අනුරාධපුර ගෙඩිගේ හා ජේතවනාරාමයෙන් හමුවන බඳුන්වලට සමානකමක් දක්වයි. (Daraniyagala,1972:110) ඊට අමතරව සුදුුමැටි නිර්මිතයක් සහිත සියුම් රතු ආලේපිත මැටිබඳුන් විශේෂයක් අභයගිරිය, සීගිරිය හා මාතොටින් හමු වී ඇත. ඒවා ක්‍රි.ව. 4-7 සියවස්වලට අයත් අතර ඒවා ඉන්දියාවේ ප්‍රභවය වූ ඒවා බව පිළිගැනෙයි. (Prickett, 1990:53-79) 1998 වර්ෂයේ දී තිස්සමහාරාම කැනීමෙන් මතුකරගත් ගඩොල් ගොඩනැගිල්ලක රතු ආලේපිත සුදු මැටි බදුන් විශේෂයක් ද හමු වී ඇති අතර ඒවා ක්‍රි.ව. 300-450 කාලයට අයත් යැයි පවසයි. (Veisshar, 2001)
පොළොන්නරු යුගය වන විට මැටි බදුන් කර්මාන්තය තව දුරටත් සංවර්ධනය වු බව පෙනේ. විශාල ඉදිකිරීම්වලට මෙන්ම කුඩා නිර්මාණ අවශ්‍යතා සදහා මැටි බහුල ව යොදාගෙන ඇත. පොළොන්නරුව ආළාහන පිරිවෙන් පරිශ්‍රයේ සිදුකර ඇති කැනීම් මගින් මැටි බඳුන් එකතුවක් ඉදිරිපත් කර ඇත. ඒවා අතර දීසි, මූඩි, නෑඹීලි, කොරහ, ඇතිලි, හට්ටි, මුට්ටි, කේතලය හා ගුරුලේත්තුව ආදිය වැදගත් නිර්මාණයන් වේ. (ප්‍රේමතිලක 1982:12-18)
මැටි බඳුන් අධ්‍යයනය දී මහනුවර යුගය ද වැදගත් වේ. මෙම යුගයේ දී කුඹල් කර්මාන්තය හදුන්වා ඇත්තේ “බඩහැල බද්ද” යන්නයි. මෙම කාලය වන විට රටේ පාලකයා ඇතුළු ප්‍රභූ පන්තියට අවශ්‍ය මැටිබඳුන් නිර්මාණය කර දීම ඔවුන්ට පැවරී තිබු කාර්යය වේ. (ගුණරත්න, 2000:34) ඔවුන් නිෂ්පාදනය කරනු ලැබූ මැටි බඳුන් භාවිතය අනුව මෙසේ වර්ග වේ. ඒවා නම් ගෘහස්ථ මැටි බඳුන්, ආගමික පරිහරණ මැටි බඳුන්, ගොඩනැගිලි සඳහා භාවිත සැරසිලි බඳුන් යනුවෙනි. (සෙනෙවිරත්න, 1981:121)
මේ අනුව බලන කල්හි ලක්දිව මැටි කර්මාන්තය විකාශය පිලිබද සිදුකර ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිලිබඳ අවධානය යොමුකිරීමේ දී පැහැදිලි වන්නේ මෙරට ස්වදේශිකයන් ලෙස හදුන්වන බලංගොඩ සංස්කෘතිය හා නෑදෑකම් කියන ස්වදේශික ජනතාව මෙන්ම පසුව පැමිණි ආර්යන්ගේ තාක්‍ෂණික ක්‍රම ශිල්ප සමග මිශ්‍ර වීමෙන් දියුණු වන්නට ඇති බවයි. එය ශිලා යුගයේ සිට ක්‍රමයෙන් ඓතිහාසික යුග පසුකරමින් නූතන අවධිය දක්වා සංවර්ධනය වූ බව පැහැදිලි ය.
විශේෂ ස්තුතිය
අනුරාධපර, අභයගිරි වියාපෘතියේ පර්යේෂණ කැනීම් නිළධාරී ටී. ඒ. සෙනෙවිරත්න මහතාටත්,
අනුරාධපර, අභයගිරි වියාපෘතියේ මැටිබදුන් අංශ ප්‍රධාන නිළධාරිනි (හිටපු) චම්පිකා වීරසිංහ මහත්මියටත්.
ආශ්‍රිත ග්‍රන්ථ
🔹අමරසිංහ, එම්. (2004) ලෝකයේ පුරාණ ශිෂ්ටාචාර, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජා ඇළ.
🔹එල්ලාවල, එච්. (2002) පුරාතන ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ.
🔹ගුණරත්න, ආර්. (2006) ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ඉතිහාසය සහ විකාශනය, වැලිපිල පුරාවිද්‍යා සඟරාව, 4 වන කලාපය, සංස්. අරුණ රාජපක්‍ෂ ඇතුලු පිරිස, ඒකාබද්ධ පුරාවිද්‍යා උපාධිධාරී සංගමය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
🔹දිසානායක, ආර්. (2005) පුරාවිද්‍යාත්මක උපයෝගිතාව හා භාවිතය මැටි බඳුන්, පුරාතන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය, ජාතික පුරාවිද්‍යා දින සමරු කලාපය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
🔹ප්‍රේමතිලක, පී.එල්. (1982) පුරාවිද්‍යා කැණීම් වාර්තාව, ආළහන පිරිවෙන, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
🔹සුවිනීතා, ඊ. (2003) ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ඉතිහාසය, වසුන්දරා, 8 වන කලාපය, සංස්. දම්මි බණ්ඩාර ඇතුලු පිරිස, කැළණිය විශ්වවිද්‍යාලය, කැළණිය.
🔹සෙනෙවිරත්න, ටී.ඒ. (2008)) මැටි මෙවලම්, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ.
· Deraniyagala,
S. (1972) Archaeological Explorations in Ceylon, part 2 Kollankanatta
· Daraniyagala,
P.E.P. (1957) “The races of the stone age and of the Ferro lithic of Ceylon” JRAS vol.5
part.01.
· Senevirathna, S. (1984) The archeology of the megalitic black
& Red ware complex in srilanka, Ancient Ceylon no.
5 colombo Jonral of the archeologycal survey Department of ceylon, Sri Lanka.
· Somadeva, R. (2010) archeology of the Udavalava basin, Postgraduate institute of archeology colombo.
Comments